යමං බණ්‌ඩො තොරණ බලන්න...
වෙසක්‌ තොරණා එදා මෙදා වගතුග...



ජාත්‍යන්තර වෙසක්‌ දිනය ජයට සැමරීමට ලක්‌වාසී ජනතාව සැරසෙන මොහොතේ, බෞද්ධ දර්ශනයේ අවිහිංසාවාදයට අතිශයින් නිගාදෙන අන්දමින්, මෙරටට ආනයනය කළ බටහිර චිත්‍රපටවල අද්භූත චරිතයක්‌ වන 'ඩ්‍රැකියුලා' චරිතයට සමාන වෙස්‌ මුහුණු සහ හීනයාන බුද්ධ සංකල්පයට පටහැනි අරුත් මතූකරන මහායාන බුද්ධ සංකල්පය අනුව නිපැයුණු වෙසක්‌ සැරසිලි, මේ දිනවල විවෘත වෙළෙඳ පොළේ බහුලව දක්‌නට ලැබෙන සුලභ දසුනකි.

බුද්ධ සංකල්පයට නිගාදෙන අයුරින් කිසිදු වෙසක්‌ සැරසිල්ලක්‌ විවෘත වෙළෙඳපොළේ අලෙවි කිරීමට ඉඩ නොතබන බවට රජය නිවේදනය කර තිබෙන අවස්‌ථාවේ, ඒ සියලු නිතී සහ රෙගුලාසි ඉක්‌මවමින් මෙම වෙසක්‌ සැරසිලි වෙළෙඳපොළවලට පැමිණියේ මොන හාස්‌කමකින් ද යන්න සැදැහැවත් බෞද්ධයන්ගේ සංවේගයට හේතුව වී තිබේ.

වෙසක්‌ කියූ පමණින්, වෙසක්‌ සමයේ කාගේ වුව සිත්වල මතු වන්නේ, බුදුරජාණන් වහන්සේ උදෙසා පවත්වන ආමිස පූජාමය පිංකමක්‌ සේ සලකා ඉදිකරන්නා වූ වෙසක්‌ සැරසිලිය. මේ අතුරින් වෙසක්‌ තොරණට ලැබෙන්නේ, සුවිශේෂී වැදගත්කමකි. එතරම් දිගු ඉතිහාසයක්‌ වෙසක්‌ තොරණට නැත. අවම තරමින් වසර අසූවක හෝ අනූවක තරම් කෙටි ඉතිහාසයකි, වෙසක්‌ තොරණට ඇත්තේ. වෙසක්‌ තොරණට පූර්වයෙහි, තොරණ යන නාමය යොදා ගනිමින් කළ නිර්මාණ බොහොමයකි. විවාහ මංගල්‍ය, අවමංගල්‍ය මෙන්ම, ප්‍රභූන් පිළිගැනීම යන කරුණු කාරණා අවස්‌ථාවල ගොක්‌ අතු, තැඹිලි හා පොල්වලු වලින් සැරසූ ගෙඩි තොරණ, විහාර හා මන්දිරවලට ප්‍රවේශ වන ස්‌ථානයේ ඉදිකළ තොරණ, බුදු ගෙට ඇතුළුවන තැන ඉදිකළ මකර තොරණ, ශාන්ති කර්මවල දී නිර්මාණය කෙරෙන දෙවොල් තොරණ හා සූනියම් වීදිය යනාදී නම්වලින් හැඳින්වෙන තොරණ විශේෂයක්‌ ද වෙයි.

මෙයින් දෙවොල් තොරණ හා සූනියම් වීදිය පහත රට ශාන්ති කර්ම සඳහා යොදා ගන්නා වූ තොරණ විශේෂයකි. උඩරට ට ආවේනික වූ කොහොඔd කංකාරි ශාන්ති කර්මය සඳහා අයිලය යොදා ගනු ලැබුව ද, එය තොරණ නමින් හැඳින්වෙන්නේ නැත. පත්තිනි මෑණියන්ගේ රූපය සමඟ හලං තැන්පත් කිරීම සඳහා දෙවොල් තොරණේ මැද සාදන ලද යහනකි. එම තොරණේ කොන් සතරේ සතරවරම් දෙවිවරුන්ගේ රූප හතරකි. සූනියම් ශාන්ති කර්මය සඳහා නිර්මාණය කරන විදිය, රජ මාලිගාවක ස්‌වරූපය කියාපාන ආකෘතියකි. ගොක්‌ කොළ, හබරල කොළ හා කෙසෙල් පතුරු කපා සකස්‌ කර ගන්නා වූ කැටයම්වල, හීනියට අඹරා ගනු ලබන පොල් කටු පුළුස්‌සා ගන්නා අඟුරු, පොල් තෙල් සමඟ කලවම්කර සාදාගන්නා කළු පැහැය හා කුකුල් සායම් ද, භාවිත කරමින් අපූරූ රූප එයින් මතු කර ගැනීමට අපේ කලාකරුවෝ සමත් වෙති. මෙහි ආලෝක ගැන්වීම සඳහා යොදා ගන්නේ, පොල් තෙල් පහන් සහ පොල් තෙල් හා භූමිතෙල් මිශ්‍රණය තවරා ගත් පන්දම් හා විලක්‌කු ය.

ලිත සාහිත්‍යයේ තොරණ ගැන කියෑවෙන තැන්a ද වෙයි. ඒ බව සඳහන් වන්නේ කුරුණෑගල යුගයේ වීරසිංහ ප්‍රතිරාජ අමාත්‍යවරයා රචනා කළ උම්මග්ග ජාතකයේ කකණ්‌ටක ප්‍රශ්නයේ ය. රත්තරන් කරවට බැඳි බොහොඬෙකු (කටුස්‌සා) එයින් උඩඟුව, වේදේහ රජු ගමන් ගන්නා මාර්ගයේ තිබූ තොරණින් බිමට නොබැස සිටි අයුරු සඳහන් වන්නේ, මෙසේ ය. ......" වේදේහයෙනි, තෙපි ම නොව මහත් වස්‌තු ඇත්තෝ ය, මමත් වස්‌තු ඇත්තෙමි"යි රඡ්ජුරුවන් හා සමඟ තමා සම කරන්නේ තොරණ අගින් නො බැස තොරණ අගම හිඳ හිස සලමින් වැද හොත්තේ ය......

එසේ ම, වලගම්බා රජුගේ මී මුණුබුරෙක්‌ වු ක්‍රිස්‌තු වර්ෂ 9 සිට 21 දක්‌වා අනුරාධපුර යුගයේ රජු වූ මහාදාඨික මහානාග රජු අඹතලා සෑගිරිය ඉදිකිරීමේ දී, තොරණින් කළ සැරසිල්ලක්‌ ගැන මහාවංසයේ සඳහන් වෙයි.

කෝට්‌ටේ සාහිත්‍ය යුගයේ විසූ වෑත්තෑවේ හිමි රචනා කළ ගුත්තිල කාව්‍ය ග්‍රන්ථයේ, එ පුර මඟ දෙපස අඳුරු දුරලන කාන්තිමත් තොරණ ඉඳිකර තිබූ බව එහි 118 වැනි කවියේ සඳහන් වන්නේ මෙසේ ය.

උදා දිනිඳු කර හරණේ - විදා අඳුරු දිය කිරණේ
යොදා දෙපස රන් තොරණේ - සදා මෙලෙස පුර දෙරණේ.

එසේ ම, එම යුගයේ විසූ වීදාගම හිමියන් රචනා කළ, බුදුගුණාලංකාර කාව්‍ය ග්‍රන්ථයේ විසාලා මහ නුවර මැණික්‌ කාන්තියෙන් විහිදුණු තොරණ, ගෙයක්‌ ගෙයක්‌ පාසා තිබූ බව 28 වන කවියේ සඳහන් වන්නේ මෙසේය.

විහිදි මිණි කිරණය - දොර දොරෙහි රන් තොරණය
නිති සතොස කරණය - සිරින් පිරි'තිරි එ පුර දෙරණය

අනුරාධපුර නගරයේ පැවැති වෙසක්‌ උත්සවයක තොරතුරු පිළිබඳ විස්‌තරයක්‌ චීන ජාතික පාහියන් භික්‍ෂුවගේ දේශාටන වාර්තාවේ සඳහන් වෙයි. එම විස්‌තරයට අනුව ජාතක කතාවල සිද්ධීන් දැක්‌වෙන චිත්‍ර, වස්‌ත්‍රවල චිත්‍රණය කර මාර්ග දෙපස ප්‍රදර්ශනය කර තිබූණු බව එහි සඳහන් වෙයි.

ශතවර්ෂාධික කාලයක්‌ තිස්‌සේ පවත්නා අයුරින් ඉදිකළ තොරණ විශේෂයක්‌ ද වේ. වර්තමානයේ පවා දැක ගැනීමට හැකි මෙම තොරණ ඉදිකරනු ලැබුවේ, ක්‍රිස්‌තු පූර්ව 273 සිට 236 දක්‌වා, දඔදිව රජකම් කළ ධර්මාශෝක අධිරාජයාගේ, රාජ්‍ය කාලයේ ය. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳු අඩි 54 ක උසින් යුත් සාංචි චෛත්‍යයට පිවිසෙන එක්‌ පාර්ශ්වයකින්a තොරණක්‌ ඉදිකරන්නට ධර්මාශෝක අධිරාජයා කටයුතු යෙදුවේ ය. පසු කලෙක එම චෛත්‍යයේ අනෙක්‌ පැති තුන ද ආවරණය කෙරෙමින්, තොරණ තුනක්‌ ඉඳිකෙරිණ. මෙසේ සාංචි චෛත්‍යයට උතුරින්, බටහිරින්, දකුණින් සහ නැගෙනහිරින් යන පාර්ශ්ව හතරෙන් පිවිසුම් තොරණ හතරක්‌ නිර්මාණය කර තිබෙන අයුරු දැක ගැනීමට හැකි ය.

ඔපමට්‌ටම් කරගත් ගල්කණු හා ගල්පතුරු වල වෙස්‌සන්තර, සම්බුලා, ඡද්දන්ත, සාම සහ මහාකපි යන ජාතක කතා පහේ වැදගත් අවස්‌ථා මෙන් ම, බෞද්ධ ඉතිහාසයේ වැදගත් අවස්‌ථා ද, මේවායේ කැටයම් කර තිබේ. මෙහි එක්‌ පනේලයක සිරස්‌ හා තිරස්‌ ගල් පතුරුවල දෙපැත්තේ, ජාතක කතාවල වැදගත් අවස්‌ථා, දකුණේ සිට වමට අපූරුවට කැටයම් කර තිබේ. බුදුරුව දක්‌වන තැන, ඒ වෙනුවට බෝධිය, සිරිපතුල, ධර්මචක්‍රය යොදා තිබේ. ආගමික භක්‌තිය ඉස්‌මතු= කරවන අයුරින් බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණසමුදාය ශෛලමය පෘෂ්ඨයේa නිරූපණය කළ කලාශිල්පියා, මනා සංයමයකින් යුතුව එය කර තිබෙන අපූරුව දිස්‌වේ.

මේ අයුරු තොරණ නිර්මාණයේ අතීතය කාලය පසුකර වර්තමානයට පිවිසෙන අපට, වසර අසූවකට, අනූවකට පූර්වයේ, අද දක්‌නට ලැබෙන අයුරු, ෂඩ් වර්ණයෙන් විචිත්‍ර වූ තොරණ, වෙසක්‌ සතියේ කාලය තුළ දක්‌නට නො ලැබිණ. පුවක්‌ කඳන් යොදා සකස්‌ කරගනු ලබන සැකිල්ල මත, එක්‌තරා රටාවකට පොල්, තැඹිලිs සහ අන්නාසි වැනි පලතුරු වර්ග ද, තැඹිලි අතු, පොල් අතු හා ගොක්‌ අතු ද භාවිත කරමින්, අතරින් පතර චිත්‍රණය කරන ලද බුදුරූප යොදා ගනිමින් නිර්මිත වෙසක්‌ තොරණ එකල දක්‌නට ලැබිණ. එම තොරණ ආලෝක කර තිබුණේ අද මෙන් ෂඩ් වර්ණ විදුලි බුබුළුවලින් නොව, පොල් ගෙඩි හා තැඹිලි ගෙඩි මත තැබුණු පොල් තෙල් පහනින් ය.

වර්ෂ 1913 දී පළමුවරට තමන් දුටු මෙම තොරණ එකල හැඳින්වූයේ, "ගෙඩි ගෙවල් " යන නමින් යෑයි ඊ. ඒ. අබයසේකර මුදලිඳු සඳහන් කරයි. (2011.05,29 සිළුමිණ පත්‍රය) ඔහු වැඩිදුරටත්a සඳහන් කරන්නේ, පන්සල් සහ විවෘත ස්‌ථානවල වෙසක්‌ සමයේ මේවා ඉදිකර තිබෙනු, තමන් කුඩා අවධියේ දුටු බව ය. වෙසක්‌ සතිය තුළ මෙම තොරණ ඉදිකෙරුණේ අම්බලන්ගොඩ නගරයේ ය. එ නිසා තොරණ දකිනු කැමැති සැදැහැතියන් යා යුත්තේ, අම්බලන්ගොඩ නගරයට ය.

මෙ කල මෙන් එ කල, කොළොම්පුරයේ වෙසක්‌ තොරණ නොවීය. වෙසක්‌ පොහොය දින උදෑසන ගොන් දෙන්නා බැඳි බර කරත්තවල නැඟුණු සැදැහැතියෝ, වන්දනා ගමනක ස්‌වරූපයෙන් කොළඔ මාලිගාකන්ද, කොල්ලුපිටියේ විවේකාරාමය, බම්බලපිටිය ශ්‍රී වර්ධනාරාමය, කරගම්පිටියේ සුබෝධාරාමය, කැලණි රාජමහා විහාරය ආදි සිද්ධස්‌ථාන වැඳපුදා ගැනීමේ සැදැහැ සිතින් ගමන් ගැනීමට සංවිධාන වූහ.

අද මෙන් විනෝද ගමන් යන ආකාරයට නා නා ප්‍රකාර බහුභූත මුහුණු පැළඳගෙන, මහපාරේ ගමන් ගන්නා අන් අයගේ පවා කන්අඩි පුපුරුවන අයුරු නලා හඬවමින්, විච්චූර්ණ බයිලා කියමින් ගමන් ගන්නා කිසිවෙක්‌, එදා සැදැහැතියන් අතර නොවූහ. බොදු ගී ගායනා කරමින්, ගාථා සඡ්Cධායනා කරමින්, බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔදවත්වූ සැදැහැවතුන් එදා වෙසක්‌ වන්දනා ගමනට සහභාගී වූ ආකාරය, ඇස කන ප්‍රියකරන මනරම් දසුනක්‌ බව අබයසේකර මුදලිඳු සඳහන් කරයි. විශේෂයෙන් කැලණිය වන්දනාමාන කරන සැදැහැවත්හු, දහවල් කැලණි ගඟෙන් දිය නා පිරිසිදු වී ගං ඉවුර අසල තැන්පත් වෙමින්, නිවසෙන් ගෙනා ආහාරයෙන් සප්පායම් වී, සවස්‌ කාලයේ තෙල් මල් ගෙන බුදුපිළිම, චෛත්‍ය සහ බෝධිඝර යන තුන්තරා බෝධීන්වහන්සේලා වන්දනාමාන කිරීමෙන් අනතුරුව, අඳුර වැටෙන කල්හි පාර තොටේ වෙසක්‌ සිරි නරඹමින්, පසු දා උදෑසන නිවෙස්‌ කරා ආපසු පැමිණෙන්නාහූ ය.

විශේෂයෙන් අම්බලන්ගොඩ ට සීමා වී තිබූ වෙසක්‌ තොරණ, ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට වේගයෙන් පැතිර ගියේ, 2500 යේ සම්බුද්ධ ජයන්ති උත්සවය පැවැත්වුණු 1956 වර්ෂයේ වෙසක්‌ පෙහොය සතිය සමඟ ය. වෙසක්‌ තොරණ සඳහා චිත්‍ර මෙන්ම විදුලි බුබුළු යොදා ගැනීම සමඟ, 1956 වෙසක්‌ පෙහොය දින කොළඔ කොටුවේ චැතැම් වීදියේ තොරණ දෙකක්‌ ඉදි කෙරිණ. අනතුරුව එළඹී වෙසක්‌ පෙහොය දිනවල තොටළඟ, පෑලියගොඩ, රාජගිරිය, බොරැල්ල, කොට්‌ටාව, පැපිලියාන, පිළිsයන්දල යන ප්‍රදේශවල ද වෙසක්‌ තොරණ ඉදිවිය.



විදුලි ශිල්පියාගේ විස්‌කම් ඉදිරියේ චිත්‍ර නිර්මාණ යටපත් ව, විදුලි බුබුළින් ෂඩ් වර්ණ රශ්මි මාලා මතු විය. රාමුගත චිත්‍ර, උඩින් හෝ පැත්තකින් බුදුරුව ස්‌ථානගතව තැබීම, එහි පිටුපසින් නේක වර්ණ ගැන් වූ විදුලි බුබුළු මගින් ක්‍රියාත්මක වන බුදු රශ්මී මාලාව, ඉස්‌මතු කිරීම සඳහා ෂඩ් වර්ණයෙන් යුත් විදුලි ආලෝක රටාවන්ට මුල්තැන දීම සේa ම, ඒකාකාරී ජාතක කතා යොදා ගැනීම එකල තොරණේ බොහොමයක තිබිණ. මේ නිසා නරඹන්නන් කතා කළේ තොරණේ කතා වස්‌තුව හෝ අදාළ චිත්‍ර ගැන නොවේ. තොටලඟ තොරණෙ, හරි ෂෝක්‌ ලයිට්‌ කියා ය.

මොටාගෙදර වනිගරත්න, මෙම තත්Fවය වෙනස්‌ කිරීමට පියවර තැබූ පළමු තොරණ චිත්‍ර ශිල්පියාය. අනුරාධපුර, පොළොන්නරුව යන යුගවල පැවැති කලා ශිල්පවල හැඩතල, ආරුක්‌කු, තොරණ නිර්මාණය සඳහා යොදා ගනිමින් තොරණට ශ්‍රී ලාංකේ ය අනන්‍යතාවක්‌ ලබාදීම කෙරෙහි ඔහු යොමු විය.

රේඛාවන්ට මුල්තැන දෙමින් චමත්කාර වර්ණ සංයෝජනයේ ලාලිත්‍යයෙන් යුක්‌තව, නවආරක තොරණ නිර්මාණයේ යෙදුණු තවත් ශිල්පියෙකි, ජයසිරි සේමගේ. මොහු මොටාගෙදර ශිල්පියාගේ ගෝලයා ය. මොවුන්ගේ නිර්මාණවලින් වඩාත් ඉස්‌මතු වූයේ විදුලි ශිල්පියා නොව, චිත්‍ර ශිල්පියා ය. විදුලි බුබුළුවල ආලෝකයෙන් ඉස්‌මතු වූයේ, රූප රාමුවල එකී වර්ණ සංයෝජන ලාලිත්‍යයෙන් යුතු චිත්‍රය.

ජයසිරි සේමගේ ශිල්පියාගේ චිත්‍ර නිර්මාණ මොන තරම් ආකර්ෂණීය වූයේ ද යත්, එකල පැවැති ගම්උදාව, මහපොළ යන රාජ්‍ය උත්සව භූමියට ඇතුළුවන ස්‌ථානයේ ඉදිකළ තොරණ, 1980 වසරේ සිට වසර දහඅටක කාලයක්‌ තුළ නිර්මාණය කළේ මොහු විසිනි. ගම්උදාව හා මහපොළ සංකල්ප ඉස්‌මතු කෙරෙන අයුරින් මෙකී තොරණ නිර්මාණය කෙරිණ. එමෙන් ම, ලොව විවිධ රටවල පැවැති එක්‌ස්ෆෝ වැනි ප්‍රදර්ශනවල ශ්‍රී ලංකා ප්‍රදර්ශනාගාරය, ශ්‍රී ලාංකේ ය අනන්‍යතාව ඉස්‌මතු කෙරෙන අයුරින් අලංකාර කිරීම සඳහා ද, තොරණ යොදා ගනු ලැබී ය. 1990 වර්ෂයේ ජපානයේ ෆකුඕනා නුවර මාස හයක කාලයක්‌ තිස්‌සේ පැවැති "ආසියානු ෆැසිපික්‌ උළෙල" සඳහා බෞද්ධ මුහුණුවර ගත් තොරණ දෙකක්‌ නිර්මාණය කිරීම පැවැරුණේ ජයසිරි සේමගේ ශිල්පියා ට ය. එමෙන් ම පාර්ලිමේන්තු සංකීර්ණයේ දසරාජ ධර්මය විදහා දැක්‌වෙන තොරණ ද නිර්මාණය කළේ මෙම ශිල්පියා ය. මෙසේ තොරණ පිළිබඳව අලුත් සංකල්පයක්‌ මොහුගේ නිර්මාණ තුළින් දක්‌නට ලැබිණ. මෙම රාජ්‍ය උත්සව හේතුකොටගෙන පැවැති අවිවේකය නිසා, වෙසක්‌ තොරණ සඳහා මෙම ශිල්පියාගේ දායකත්වය නොලැබිණ.

ජ්‍යාමිතික හැඩතල අනුව තොරණ නිර්මාණය කිරීමේ ගෞරවයට පාත්‍ර වන ශිල්පියෙකි, දැනට සියයක්‌ පමණ තොරණ සංඛ්‍යාවක්‌ ඉදිකර සිටින පුෂ්පානන්ද දෙනිපිටිය ශිල්පියා. 1977 වර්ෂයේ සිට තොටළඟ තොරණ ඇතුළු තොරණ කිහිපයක්‌ ම වෙසක්‌ සතිය තුළ නිර්මාණය කිරීමට මොහුට හැකි විය. මොහු නිර්මාණය කළ වෙසක්‌ තොරණ ෂඩ් වර්ණයෙන් ආලෝක කිරීම සඳහා ඩී. ආරියදාස, නිමල් ප්‍රනාන්දු, ඉන්දික නිශාන්ත, සරත් වරුෂ විතාන යන විදුලි කාර්මික ශිල්පීන්ගෙන් සුවිශාල දායක වයක්‌ ලැබිණ. අදට හැත්තෑ වසරක්‌ පැරැණි තොටළඟ මුල්ම තොරණ ඉදිවූයේ 1955 වර්ෂයේ දී ය. අඩි 105 ක්‌ උසින් හා අඩි 85 ක්‌ පළලින් යුත්, ඇල්µ්‍රඩ් පෙරේරාගේ නිර්මාණයක්‌ වන මෙම තොරණේ කතා වස්‌තුවට යොදා ගෙන තිබුණේ, " මහා භද්‍ර කල්පය" යි.

වෙසක්‌ තොරණේ ආකෘතිය සහ කතාව යන අංශවල පැහැදිලි වෙනසක්‌ කළ ශිල්පියෙකු ලෙස මර්වින් සේනාරත්න සැලකේ. තොරණේ අන්තර්ගත, චිත්‍ර රාමුවලින් මතු කෙරෙන කතා වස්‌තුව ඉදිරිපත් කිරීම සඳහා, රචිත ගේය පදයට සංගීතය මුසු කොට ආචාර්ය අමරදේව, (එකල ඇල්බට්‌ පෙරේරා) ජී.එස්‌.බී. රාණි, මොහිදින් බෙග් වැනි ප්‍රවීණ ගායක ගායිකාවන් ලවා පටිගත කළ ගායනා ඉදිරිපත් කළේය. මෙහි මූලිකත්වය ගෙන කටයුතු කළේ කරුණාරත්න අබේසේකර සූරීහූ ය. ගායක ගායිකාවන් ලවා ගීත ගායනා කළ තොරණේ හඬ පටයට, එ කල ලංකා ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචකයෙකු වූ මර්වින් සේනාරත්න සූරීහූ 1961 වර්ෂයේ දී ඊට නව සංකල්පයක්‌ එක්‌ කළහ. එ නම් වර්තමානයේ දක්‌නට ලැබෙන අයුරු චිත්‍රණය කර තිබෙන රාමුවල නාට්‍යමය අවස්‌ථා මතුවන සේ හඬ ශිල්පීන් ලවා දෙබස්‌ ද, විරිදු ගායන ශිල්පීන් ලවා විරිදු ගායනා ද, කල් ඇතිව පටිගත කිරීමට පියවර ගැනීම ය. මෙසේ හඬ පටය තොරණ සඳහා නිර්මාණය කිරීමේ පළමු ප්‍රයත්නය ලෙස සටහන තබන්නේ, 1961 වර්ෂයේ අයි. ඩී. එච්. හන්දියේ ඉදිකළ තොරණය. මෙම හඬපටයේ සංකල්පය, වර්තමානයේ තොරණ්‌ නරඹන්නන් වැඩි දෙනෙකු අතරේ වඩාත් ආකර්ෂණය වී තිබේ.

මුල් කාලයේ, තොරණ සඳහා යොදාගන්නා කතා වස්‌තුවට, චිත්‍ර නිර්මාණය කළේ, තොරණ නිර්මාණ ශිල්පියා විසිනි. එසේ නොවේ නම්, තොරණට බරපැන යොදන අයගේ මෙහෙයවීමෙනි. වෙසක්‌ තොරණ සම්බන්ධයෙන්, මර්වින් සේනාරත්න ශිල්පියා සිදුකළ තවත් වෙනසක්‌ වන්නේ, යම් අර්ථපතියෙකු හෝ සංවිධානයක්‌ හෝ විසින් තමන්ට පවරන තොරණට අදාළ කතා වස්‌තුව හා ඊට යොදා ගන්නා චිත්‍රරාමු, ඔහු විසින් තොරණේ චිත්‍ර ශිල්පියාට සැපයීම ය. මේ අයුරු ඉදිකළ මුල් තොරණ වනුයේ, අයි. ඩී. එච්. හන්දියේ ඉදිකළ තොරණ ය. එම තොරණේ කතාව ලියුවේ, සේනාරත්න ශිල්පියා ය. මේ අයුරු තොරණ ආකෘතියට මෙවැනිම වූ දායකFවයක්‌ ලබාදුන් තවත් ශිල්පියෙකි, බණ්‌ඩාර ඇහැළියගොඩ.

තොරණ, වේදිකා නාට්‍ය, වීඩියෝ චිත්‍රපටය යන මාධ්‍ය තුන එක්‌තැන් කරමින් රූපවාහිනි සංස්‌ථාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වැඩසටහන් අතුල රන්සිරිලාල්ගේ අධ්‍යක්‍ෂණයෙන් 2017 වර්ෂයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක්‌ දින උත්සවයට, ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනීන් මෙන්ම, නැටුම් ශිල්පී ශිල්පිනීන් 250 දෙනෙකු පමණ යොදා ගෙන තෙවැනි වතාවටත් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථා පරිශ්‍රයේ ඉදිකෙරෙන සිරි දළදා වත, වෙසක්‌ තොරණ සංකල්පයට එක්‌කළ අපූර්වතම අත්දැකීමකි. දළදා ඉතිහාස කතා පුවතට සමගාමී ව ජාතික සමගියේ වැදගත්කම කියාපාන නාට්‍ය දර්ශනයකි. අලි ඇතුන් සහිත දළදා පෙරහැරකි. මේ සියල්ලම සිදුවන්නේ, අඩි 250 ක්‌ දිග හා අඩි 150 ක්‌ පළල හා අඩි 80 උස තල හතරකින් පිහිටි වේදිකා හතරකය.

යකඩ බට යොදා ගනිමින් ඉදිකළ සිරි දළදා වත තොරණ, මගින් පුවක්‌ ගස්‌ විශාල සංඛ්‍යාවක්‌ කපා දමමින් තොරණ ඉදිකරන්නට ලබාදෙන්නේ මහඟු පාඩමකි. මෙවර වෙසක්‌ දිනය නිමිත්තෙන් ඉදිකෙරෙන තොරණ කිහිපයක්‌ම පුවක්‌ ගස්‌ වෙනුවට යකඩ බට යොදා එම තොරණේ සැකිල්ල නිර්මාණය කරනු දක්‌නට ලැබේ.

උදේනි චන්ද්‍රසිරි

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.