සංස්‌කරණය : නාරද නිශ්ශංක

බුදු නෙතින් දකින්නට
මෙත් සිතින් සිතන්නට කාලයයි...

දීපිකාගෙන් ආයාචනයක්‌



එක්‌සත් ජාතින්ගේ සංවිධානයේ අනුග්‍රහයෙන් 'අන්තර්ජාතික වෙසක්‌ උත්සවය' සැමරීම ආරම්භ වන්නේ 2003 වර්ෂයේදීය. ගෞතම බුදුරාජණන් වහන්සේගේ ධර්මය පිළිබඳ ලෝකවාසි ජනතාවගේ අවධානය යොමු කරන එකි අන්තර්ජාතික වෙසක්‌ උත්සවය මෙවර පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේය.

රටවල් 85 ක ගිහි පැවිදි නායකයින් ඇතුළු නියෝජිතයන් රැසක්‌ සහභාගී වීමට නියමිත මෙම උත්සවය නිමිත්තෙන් මුළු ලොවටම ආයාචනා කරමින් මේ යුගයේ අවැසියාවක්‌ ප්‍රකාශමාන කරන ප්‍රබල ගීතයක්‌ විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්‌ විසින් මුදා හැරීම සැබැවින්ම සද් කාර්යයකි.

'ධම්මෝ හවේ රක්‌ඛති ධම්මාචාරි///

බුදු නෙතින් දකින්නට

මෙත් සිතින් සිතන්නට

ලෝ දනන් පුබුදු වන

සංගායනාවකට කාලයයි

කාලයයි

දහම හද නිවාලන

ලෝකයක්‌ තනන්ට කාලයයි.

ගීතයේ පුන ගැයුම වන්නේ ඉහත කී ආරාධනයයි.

ධර්මයේ හැසිරෙන්නන්, ධර්මයේ පවතින්නන් ධර්මය විසින් රකිනු ලබති යන බුද්ධ භාෂිතය රාව ප්‍රතිරාව නංවමින් ගීතය ආරම්භ වේ.

බුදු හිමියන් ලෝකය දුටු සම්මා දිට්‌ඨියෙන් දකින්නට, බුදු හිමියන් සියලු සත්වයන් හට මෛත්‍රීය පෑ ඒ මහ මෙත් සිතින් සිතන්නට ලක්‌ දනන් පමණක්‌ නොව ලෝ දනන් ද පුබුදුවන සංගායනාවකට කාලය එළඹ තිබේ.

අධර්මය, අයුක්‌තිය, අසාධාරණය, අසත්‍ය විසින් ලෝකයේ මිනිස්‌ හදවත් දවාලමින් මිනිසුන් පමණන් නොව සොබාදහමද අප පෘතුවි තලය ද අනතුරට හෙලනු ලැබ ඇති මේ යුගය තුළ දහම විසින් හදවත් නිවා සනහාලනු ලබන ලෝකයක්‌ නිර්මාණය කර ගැනීමට කාලය උදා වී ඇතැයි ද එබැවින් අප එක්‌ වී සංගායනාවක යෙදෙමින් ඒ කාර්ය සඳහා අප්‍රමාණ වීර්යෙන්, අප්‍රමාද හදවතින් කැපවිය යුතු බවයි දීපිකා ප්‍රියදර්ශනි මේ ගීතයෙන් පවසන්නේ.

මෙවර අන්තර්ජාතික වෙසක්‌ උත්සවයේ තේමාව සමඟ ගැඹුරින් මේ ගීතයේ අරුත සමපාත වෙයි. එකී තේමාව වන්නේ, 'සමාජ සාධාරණත්වය හා ස්‌ථිරසාර සාමය උදෙසා බෞද්ධ ඉගැන්වීම් යන්නයි.

කිත් යසස්‌ රැස්‌ වළලූ

තමන්ටමැ ගොඩ නඟන

මෝහ මඟ අතැරලා

නිවන් මඟ දකින්නට

චාරිකා කරන්නට කාලයයි

අද බොහෝ විට සිදුවන්නේ බුදු දහම බබළවනු වෙනුවට තම තමන් බැබළීමට දහම පහුරක්‌ කර ගැනීමයි. එය මෝහ අන්ධකාරයකි. එමගින් සිදු වී ඇත්තේ දහමේ ගැඹුරු හරය වැසි යාමයි. සැබැ ධර්මස්‌කන්ධය වැසී යාමයි. දීපිකා තම ගැඹුරු ශාන්ත හඬින් ආරාධනා කරන්නේ නිවන් මඟ දකිමින් යන ගමනකට කාලය මේ බවයි.

අප රට තුළ ද ලෝකය තුළ ද අප දකින්නේ බහුතරයක්‌ දෙනා දුකට වේදනාවට, පීඩාවට පත්ව ඇති යථාර්ථයකි. මේ දුකින් මිදෙන්නට ඇති මාර්ගය වන්නේ ධාර්මික දිව පෙවතක්‌, ධාර්මික ආර්ථිකයක්‌, ධාර්මික පාලන ක්‍රමයක්‌ නිර්මාණය කර ගැනීමයි. ඒ සඳහා අප්‍රමාද වූ හදවතින් කටයුතු කිරීමයි.

දුක්‌ සුසුම් සිත් වෙරළ

නිරන්තර රළ නඟන

භව දුකින් මිදෙන්නට

අප්‍රමාද වු හදින්

ධර්මයේ හැසිරෙන්න කාලයයි.

විමුක්‌තිය, දුකින් මිදීම, සැබැ සාමය අත්දකින්නට හැකිවන්නේ ධර්මය තුළ පිහිටා සිටීමෙනි. ගීතය නිමාවන්නේද ඒ සත්‍ය අප හදවත් තුළ රාව ප්‍රතිරාව නංවන බුද්ධ භාෂිතය සෙමින් සෙමින් සවන්පත් තුළින් අප හදවතේ තැන්පත් කරමිනි.

ධම්මෝ භවේ රක්‌ඛති ධම්මාචාරි

දීපිකා ප්‍රියදර්ශනි පීරිස්‌ විසින් ගායනා කරනු ලබන මේ ගීතය ගේය පද මහින්ද නාමල්ගෙනි. තනුව හා සංගීSතය කරුණාරත්න විඡේවර්ධනගෙනි. ජාත්‍යන්තර වෙසක්‌ උත්සවය නිමිත්තෙන් මෙම ගීතයට මා හැඟී රූප රචනාවක්‌ කොට ඇත්තේ ජයන්ත චන්ද්‍රසිරි ශූරින් විසිනි.

දීපිකාගේ හඬින් සිදු කෙරෙන මෙම ආයාචනය යථාර්ථයක්‌ කරන්නට අපට හැකි වේ නම්, අපට ධර්මයේ පවතින ජීවිතයක්‌, රටක්‌, ලෝකයක්‌, උරුම කරගත හැකි වනු ඇත.

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.