ඇත්ත කතාව තිත්ත නොව මාරාන්තිකය

මිනිසුන් 31 දෙනකු පණපිටින් පරලොව යවමින් මීතොටමුල්ල කුණු කන්ද නාය ගියේ අපට බිහිසුණු පාඩම් දෙකක්‌ ඉතිරි කරමිනි. එම ෙ€දවාචකයේ එක පාඩමක්‌ නම් කසළ කළමනාකරණයයි. දෙවැන්න කොළඹ නගරයේ ඉදිකිරීම් ය. කසළ කළමනාකරණයේ හෝඩි පොත අපි දැන් කියවමින් සිටිමු. කොළඹ නගරයේ ඉදිකිරීම් පාඩමට අත ගැසීමට නම් තව ගොඩනැඟිලි දෙක තුනක්‌වත් මිනිසුන් සමඟ ගිලා බැසිය යුතුය. එසේ නොවේවා කියා අපි ප්‍රාර්ථනා කළ ද, ඇත්ත කතාව තිත්ත නොව මාරාන්තිකය.

පෙරේදා (18 දා) වැල්ලවත්ත ඕලන්ද ඇළ අසල ඉදිකර තිබූ සය මහල් ගොඩනැඟිල්ලක්‌ පොළොවට සමතලා විය. එම අනතුරින් එක්‌ අයකු මියගොස්‌ 25 දෙනෙක්‌ තුවාල ලැබූහ. කඩා වැටුණේ මිනිසුන් දහසකට පමණ අසුන් ගත හැකි මංගල උත්සව ශාලාවකි. එවැනි මංගල්‍යයක්‌ තිබියදී ගොඩනැඟිල්ල කඩා වැටුණේ නම් එය ලංකාවේ සිදු වූ ලොකුම අවමංගල්‍යය වීමට ඉඩ තිබිණි. මිනිසුන්ගේ වාසනාවට එසේ වූයේ නැත. ගොඩනැඟිල්ල කඩාවැටීම පිළිබඳ පර්යේෂණ පවත්වන ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසන්නේ ඇළ මාර්ගය අසල ගොඩනැඟිල්ල ඉදිකිරීම නිසා ගොඩනැඟිල්ලේ බර පාදමට දරා ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්‌ථාවේ අණ පනත්වලට අනුව ඇළ මාර්ග රක්‍ෂිත අසල ඉදිකිරීම් සිදුකිරීමේ සීමා තිබේ. බස්‌නාහිර පළාතේ නම් මීටර් 9 ක්‌ පළල ඇළ මාර්ගයක ඇළ අයිනේ සිට ගොඩබිම දෙසට මීටර් 6.5 ක්‌ දක්‌වා සීමාවේ ඉදිකිරීම් සිදු කිරීම නීති විරෝධීය.

මෙම නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසිනි. ඇළ රක්‍ෂිත නීතිය ගෙන එනු ලැබුවේ ඇළත්, ගොඩනැඟිල්ලත් දෙකම ආරක්‍ෂා කර ගැනීමටය. එසේ නීති තිබියදී වැල්ලවත්ත ඕලන්ද ඇළ අයිනේම තට්‌ටු හයක ගොඩනැඟිල්ලක්‌ හැදීමට අවසර දුන්නේ කවුද?


කොළඹ යනු කැළණි ගං මිටියාවතේ වගුරු බිමක පිහිටි නගරයකි. මෙම වගුරු බිමේ ඉදිකිරීම් සිදුකිරීමේදී පස පරීක්‍ෂා කර ඉදිකිරීම් කිරීම වඩා ගුණදායකය. නමුත් පස්‌ පරීක්‍ෂාවක්‌ (Soil Test) සඳහා යන වියදම අධික බැවින් කොළඹ බොහෝ ඉදිකිරීම් සඳහා පස්‌ පරීක්‍ෂණ සිදු කෙරෙන්නේ නැත. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ පොළොවේ බරට දරාගත නොහැකි තරමට ගොඩනැඟිල්ලේ බර ඉහළ යැමෙන් මහා විනාශයක්‌ සිදු වීමය. මේ වනවිටත් කොළඹ 10, දෙමටගොඩ, මාලිගාකන්ද පාරේ පිහිටි ක්‌ලිප්ටන් බාලිකා විදුහලේ ගොඩනැඟිලිවල බිත්ති පුපුරා ගොස්‌ තිබේ. ඒ විදුහල අසල ඉදිකරනු ලබන මහල් නිවාස සංකීර්ණයක්‌ සඳහා ෆයිල් (Pile) ගැසීමේදී ඇති වූ කම්පනයටය. කොළඹ නගරයේ ඉදිකරනු ලබන අවිධිමත් ගොඩනැඟිලි හේතුවෙන් කොළඹ කොටුව, මරදාන, බොරැල්ල, කොල්ලුපිටිය, බම්බලපිටිය, දෙහිවල, වැල්ලවත්ත, කිරුළපන, නාරාහේන්පිට. රාජගිරිය, කෝට්‌ටේ. නුගේගොඩ යන ප්‍රදේශවල සාමාන්‍ය වැසියන්ගේ නිවාසවලට දැඩි බලපෑම් එල්ල විය හැකි බව ඉංජිනේරුවෝ පෙන්වා දෙති. එම නිසා ඉතා ඉක්‌මනින් මේ පිළිබඳව අවධානය යොමු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය වග බලා ගත යුතුය.

කොළඹ නාගරික බල ප්‍රදේශයේ ජනගහනය ලක්‍ෂ 56 කි. මින් 752,993 ක්‌ ජීවත් වන්නේ කොළඹ නගරයේ ය. මෙම ජනගහනය දිනෙන් දින ඉහළ ගිය ද ඊට සාපේක්‍ෂව භූමියේ ප්‍රමාණය ඉහළ යන්නේ නැත. මේ නිසා කොළඹ නාගරික ජනතාවගේ නිවාස ප්‍රශ්නය දැවෙන අර්බුදයක්‌ බවට පත්ව තිබේ. මීට හොඳම විසඳුම භූමියේ ඉහළට ගමන් කිරීම හෙවත් මහල් නිවාස ඉදිකිරීමය. මෙම මහල් නිවාස ඉදිකිරීම සඳහා තිබෙන අණ පනත් ඇතැම් විට යුරෝපීය රටවල අණ පනත්වලට දෙවැනි නැත. නමුත් සිදුවන්නේ පනත ෆයිල් එකට දමා අණ අතයට ගනුදෙනුවලින් සිදුවීමය.

මේ සෙල්ලමේ භයානක ප්‍රතිඵල ඇස්‌ ඉදිරිපිටම පෙනෙමින් තිබේ. නාගරික සංවර්ධනය යනු අහස සිඹින ගොඩනැඟිලි ඉදිකිරීම නොව භූමියට ගැළපෙන ලෙස නගරය කළමනාකරණය කිරීම බව අප දැන්වත් තේරුම් ගත යුතුය.
 

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.