ශ්‍රී ලංකාවේ කසළ චින්තනය

සිරිල් එෙŒරමුල්ල

රටක සිදුවන හැම සිදුවීමක්‌ ම, තමා තම රටේ යහපතට පාදක කරගන්නා බවට ලී ක්‌වාන් යූ....මහතා, වරක්‌ පුවත්පතකට ප්‍රකාශ කර තිබුණා අපට අදත් මතකය.

ඒ සත්‍යය ශ්‍රී ලාංකීකයනට හැමදාම සිහිපත් කරන ප්‍රස්‌ථාව පිරුළක්‌ අපේ සාහිත්‍යයේ තිබේ.

"සෑම කළු වළාකුලකම රිදී රේඛාවක්‌ ඇත"

ප්‍රස්‌ථාව පිරුළු යට ඇති සදාතනික පණිවුඩ තේරුම් ගන්නන් අදත් අපේ රටේ ඉතා හිඟය.

මීතොටමුල්ලේ කසළ ෙ€දවාචකය රටට පණිවුඩ කීපයක්‌ දුන්නේය. එහෙත් ඒ එක ද පණිවුඩයක්‌වත් අපේ රට "නව" තත්ත්වයකට ගෙන යැමට පාදක කරගන්නා බවක්‌ නොපෙනේ.

කසළ යනු පාරිභෝජනයෙන් අනතුරුව ඉවත ලන දැය. 1977 විවෘත ආර්ථිකයත් සමඟ ක්‌ෂණික ආහාරපානාදියට, ඇසිරූ භාණ්‌aඩ පාරිභෝජනයට, අපේ රට වේගයෙන් පෙළඹවුනි. අද අපේ රටේ කසළ ගොඩවල ඇත්තේ ඒ ක්‌ෂණික පාරිභෝජනවල ඉතුරු බිතුරු ය.

අප කුඩා වියේ අපේ අම්මලා තාත්තලා කුණු කසළ ගැටලුවකින් පෙළුනේ නැත. අපේ ගම්වල කිසිදු තැනක කසළ ගොඩවල් තිබුණේ ද නැත.

මෑතක එක්‌තරා සමාජ ක්‍රියාකාරීන් පිරිසක්‌ අතර කෙරුණ සංවාදයකදී කසළ දියුණුවන රටක ලක්‌ෂණයක්‌ ලෙස කෙනකු විග්‍රහ කළේය. දියුණු ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය හා ජර්මනිය බඳු රටවල් ද කසළ ප්‍රශ්නයට මුහුණදී සිටින හෙයිනි.

එහිදී තවත් වැඩිහිටියකු පැවසුවේ කසළ යනු සියල්ල ප්‍රසිද්ධියේ ඉවත ලන්නට නැඹුරු සමාජකය ලක්‌ෂණයක්‌ බවය.

ලෝකාරම්භයේ සිටම මිනිසා සිය වුවමනා සඳහා භාවිත කළ දැ ඉවතලා තිබේ. එහෙත් එක්‌ මිනිසකු හෝ පවුලක්‌ ඉවතලන දැ අන් කෙනකු හෝ පවුලක්‌ දුටුවේවත් නැත. අන් කෙනකුට හෝ පවුලකට උවදුරක්‌ වූයේ ද නැත.

අද වෙළෙඳපොළේ බහුලව ඇත්තේ ඇසිරූ හෝ දවටනවල එතූ පාරිභෝගික භාණ්‌ඩය. කෙනකු හිස හා ඇඟ ගාගන්නා සබන් කැටයේ සිට ගෙදර කුස්‌සියේ භාවිතයට ගන්නා හාල් හා පොල් කිරි දක්‌වාය. කඩදාසි හා පොලිතින්වල ඇසිරූ වෛවර්ණ ක්‌ෂණික භාණ්‌ඩවලින් අද කොළඹින් ඉතා ඈත කුමන හා දොරකඩ දක්‌වා ග්‍රාමීය සිල්ලර කඩ පවා අමුතු වෙනසකට පාත්‍රව තිබේ.

ඒ සියල්ල පරිභෝජනයට ගත් පසු ඉවතලන ඇසුරුම්ය. ළඟදීම ඒ ගොඩට පරණ වාහන කොටස්‌ ද එකතුවනු ඇත. දැනටමත් පරිගණක - රූපවාහිනී උපාංග කසළ ගොඩවලට එක්‌ව ඇත. දියුණු රටවල විකිරණශීලී ද්‍රව්‍ය ද කසළ අතර ඇති බව විදේශවලට යන එන අය පවසති.

ජනගහනය වැඩිවීමත්, නව නගර හා තට්‌ටු නිවාස ඉදිවීමත් සමඟ කසළ උවදුර තවත් උග්‍ර වෙනු ඇත.

අද අපේ රටේ මිනිසුන් නොවෙසෙන පාළු පෙදෙස්‌වල පවා කසළ කඳු නිර්මාණය වෙමින් තිබේ. එසේම කසළ කඳු අද්දර පවා කුඩා කුඩා ජනාවාස බිහිවෙමින් තිබේ.

පෙර සඳහන් කළ ලෙස නවසිය හතළිහ මුල විවාහ වී නවසිය අනූව පමණ දක්‌වා පවුල් දිවිගෙවූ අපේ අම්මලාට කසළ......යන්න කිසිදු ජීවිත හෝ පරිසර උවදුරක්‌ නොවීය.

එහෙත් අද!

ඒ අම්මලාගේ දියණියනට හා පුතුන්ගේ බිරියනට කසළ මොනවා කරන්න දැයි විසඳුමක්‌ සොයාගත නොහැකිව හිස ගිනි ගෙනැති ගැටලුවකි. මුණුපුරු - මිනිබිරියන්ට ඉක්‌මනින් රෝග සමීප කරවන උවදුරකි.

ළඟ දිනෙක මම, බෞද්ධ භික්‌ෂුවක හා කතෝලික පූජකවරයකු සමඟ කලක්‌ මා සේවය කළ මුහුදුබඩ ගමක පාසලකට ගියෙමි. අද ඒ විදුහල එදාට වඩා ගොඩනැඟිලිවලින් පිරිලාය. එහි ක්‍රීඩා පිටිය කෙළවර හැමිල්ටන් ඇළය.

අප තිදෙනා හැමිල්ටන් ඇළේ සිරි නරඹන්නට ගියෙමු. ඇළ දෙපස ජලය මත එහා මෙහා වන ප්ලාස්‌ටික්‌ බෝතල්ය, ප්ලාස්‌ටික්‌ පෙට්‌ටිය, පොලිතින් උරය, යෝගට්‌ කෝප්පය, එක එක තරමේ ය. ජලය කළුම කළුවන් ය.

කලක්‌ ඉතාලියේ සේවය කර සිටි කතෝලික පියනම අප ඉදිරියේ අපූරු හෙළිදරව්වක්‌ කළේය.

එහි විශ්වවිද්‍යාලයක්‌ විසින් කරනු ලැබ ඇති කසළ පරීක්‌ෂණයක්‌ ගැන ය. මිනිසුන් භාවිත කර විසිකර දමන ප්ලාස්‌ටික බෝතල්, වැසි ජලය හා ඇළ මාර්ග මඟින් ගංගාවලට විත් මුහුදට ගිය පසු දිරායන්නට වර්ෂ තුන් හාරසියයක්‌ ගත වන බව එම පරීක්‌ෂණයෙන් හෙළිදරව් වී තිබේ. වීදුරු බෝතලයක්‌ වියෝජනය වීමට අවුරුදු දාහක්‌ පමණ ගත වන බවය.

සිගරට්‌ කොටයකට අවුරුදු පහක්‌ පමණ ද ප්ලාස්‌ටික්‌ බඳුනකට අවු 10 - 20 අතර කාලයක්‌ ද නයිලෝන් අපද්‍රව්‍යයකට වසර 30 - 40 කාලයක්‌ ද ගතවන බවය. බෙලෙක්‌ අපද්‍රව්‍ය වියෝජනයට වසර 500 ක්‌ පමණ ගතවන බවය.

"වෙළෙඳ ප්‍රචාරක ආයතන මඟින් වර්තමාන සමාජය තුළ එතෙක්‌ නොතිබූ අධි පාරිභෝජන ගිජුකම් රැසක්‌ ඇති කිරීම" කසළ උවදුරට එක්‌ ප්‍රධාන හේතුවක්‌ බව ඒ පර්යේෂක පිරිස හෙළිකර තිබේ.

"පරණ දේ අලුත්වැඩියා කර යළි භාවිතයට ගන්නා සිරිතෙන් අද ලෝකය ඉවත්වීම ද කසළ උවදුරට තවත් හේතුවක්‌ බව ඔවුන් හෙළිකර තිබේ".

අද නිෂ්පාදකයන් බොහෝ දේ නිපදවන්නේ වරක්‌ පාවිච්චි කර ඉවතලන්නට ය. එසේම නිෂ්පාදන භාණ්‌ඩවල ආයු කාලය ද අද ඉතා කෙටිකර ඇත. ගිය වසර මුල වෙළෙඳපොළට සැපයූ සිය නිෂ්පාදන භාණ්‌ඩ මේ වසර මුල වෙද්දී "යල් පිනූ" ඒවා බව නිෂ්පාදකයෝ ම ප්‍රචාරය කරති. ඒ සමඟ ඒ නිෂ්පාදනම වෙනත් නමකින්, වෙනත් හැඩයකින්, වෙනත් ඇසුරුමකින් ඔව්හුම ඊළඟ වසරේ වෙළෙඳපොළට ඉදිරිපත් කරති, මිල ද ඉහළ දමමිනි.

එකිනෙකාට දොස්‌ පවරා ගනිමින් කසළ උවදුර, දුරු කරගත හැකිද? කසළ දමන්නට තැන් සොයා ගැනීමෙන් කසළ උවදුර ජයගත හැකිද?

1970 සමයේ ශ්‍රී ලංකා වෙළෙඳපොළට පොලිතින් බෑග් හඳුන්වාදුන් සමයේ ඒවා කවදා හෝ අපේ භූමියේ පස රෝගී කරනු ඇතැයි ද ගොවීනට හා සතුනට කරදර කරනු ඇතැයි ද.......ඒ නිසා අපි අපේ පන් මල්ලට යළි යමු යෑයි ද යෝජනා කළ කතෝලික පියනමක සිටියේය.

කොළඹ අතහැර ඌව වෙල්ලස්‌සට ගොස්‌ එහි දුගී ගොවීනට නව දේශීය පොහොර වර්ග හඳුන්වා දුන් ආචාර්ය මයිකල් රුද්‍රිගු පියනමය. (එතුමා වෙඩිතබා මරා දැමුණි.) එදා ඒ යෝජනාව මෙරට කිසිම වගකිව යුත්තකුට ඇසුනේ නැත.

නාස්‌තිය හා අධි පරිභෝජනය සීමා කළ, අරපිරිමැස්‌මෙන් ක්‍රියා කරන සමාජයක්‌ බිහිකර ගැනීම කසළ උවදුරට 50% විසඳුමක්‌ බව පෙර කී ඉතාලි විශ්වවිද්‍යාල පර්යේෂකයන් පෙන්වාදී තිබේ.

"ඉවත නොලා හැකිතරම් වාර ගණනක්‌ පාවිච්චි කරමු" යන ආකල්පයට රැටියන් යොමුකරන බලවත් ප්‍රචාරක ව්‍යාපාරයක්‌ අරඹන ලෙස ඒ පර්යේෂකයන් ඉතාලි රජයට යෝජනා කර තිබේ.

රටේ තත්ත්වය ගැන කවුරු කුමක්‌ පැවසුවත් අද උගත් සරල ආර්ථික විද්‍යාව අනුව ශ්‍රී ලාංකිකයෝ මිලදී ගන්නා සමහර පරිභෝජන ද්‍රව්‍ය විශේෂයෙන් ආහාර රස ගුණවත් නොබලා ඉවත දමති. දින ගණනක්‌ ගබඩා කරගෙන සිටීමෙන් අනතුරුවය. ඒ සමාජ තීරුවේ යහමින් මුදල් ගැවසේ.

වෙසක්‌ සතියේ කොළඹ, හැව්ලොක්‌ පෙදෙසේ, එක්‌ උදයක මා දුටුවේ එකක්‌ 800/- වූ වෙසක්‌ කූඩු දාහක්‌ පමණ පාර අද්දර ගොඩගසා ඇති අන්දමය. සවස තුනට පමණ මා එතැනින් ආපසු එද්දී ඔවුනට ඉතිරිව තිබුණේ කූඩු තුන හතරකි.

ඒ සමාජ තීරුව නිතර අලුත් කෑම මෙන්ම ඇඳුම් පැළඳුම් වලට ද ගිජු වෙති. ගෘහභාණ්‌ඩ වලට ද ගිජු වෙති. විදුලි උපකරණ පවා ඔව්හු ඉතා ඉක්‌මනින් නවීන කරති. ගෙවල බිම බුමුතුරුණු ද ජනෙල් දොරවල පැළඳුම් ද ඉක්‌මනින් නවීන කරති. වැසිකිළි උපකරණ ද එසේය.

සමහරු සිය මුදල්වලට කළ හැකි අන් යමක්‌ නැති නිසා ද වෙළෙඳ ප්‍රචාරක උපක්‍රමවල පරාක්‍රමවලට රැවටී එසේ කටයුතු කරති.

ඔවුන්ගේ පවුල්වල දරු සාමාජික සංඛ්‍යාව ද බොහෝ විට කෙනකු හෝ දෙදෙනෙකි. එහෙත් ඔව්හු සිය ගෙවල උපභෝග පරිභෝග වස්‌තුන් රැස්‌කර ගන්නේ විශාල පිරිසකටය.

අද ක්‍රමයෙන් මේ රට පහළ මැද පන්තියේ සමාජ තීරුව ද ඒ පාරිභෝජන රටාව වැළඳ ගනිමින් සිටින්නේය.

ඔවුන් දිනකට වළ¹ ඉවත දමන ආහාර ප්‍රමාණ ගැන සමීක්‌ෂණයක්‌ කළහොත් පෙර ? සරල බෙදාහදා ගන්නා දිවි පෙවතක සිටි ශ්‍රී ලාංකික පවුල් ඉවත දමන කසළ ගැන මහා අවබෝධයක්‌ ලබාගත හැක.

දේශීය ආහාර අද ඔවුන් අප්‍රිය කරයි.

ඔවුන්ගේ ගෙවල දේශීය හැළි වළං නැත.

ඔවුන් කෑමට අවශ්‍ය ඉතාම අවම ප්‍රමාණය සකසා ගන්නට නොදනිති. සැලකිලිමත් ද නොවෙති.

ඔවුන්ගේ දූ දරුවන් ප්‍රචාරණ අධිරාජ්‍යයේ ගොදුරු වී හමාරය.

වගවිභාගයකින් තොරව යමක්‌ ඉවත ලන්නට පෙර එබඳු දැ අවශ්‍ය හා නැති අයට ඒවා පරිත්‍යාග කරන සමාජ ක්‍රමයක්‌ කසළ උවදුරට 50% විසඳුමක්‌ විය හැක.

1970 පමණ දක්‌වා මෙරට පැවති පිසූ ආහාර ද්‍රව්‍ය අසල්වාසීන් හා බෙදාහදාගත් සමාජ ක්‍රමයට යළි යැම කසළ උවදුරට 50% විසඳුමක්‌ විය හැක.

රටේ ප්‍රධාන ආගම් සියල්ලම සිය සාමාජිකයනට දෙසා වදාරන්නේ තෘෂ්ණාවෙන් වළකින ලෙසය. සියල්ල අතහැර අල්පේච්ඡ ජීවිත ගතකරන ලෙසය. බෙදාහදාගෙන සහෝදරත්වයෙන් ජීවත් වන ලෙසය.

ජනතාව ඒ ධර්මගුණ අදහති.

අනුසාර නොකරති.

සිය ධර්මානුකූලව ජීවත්වන ජනතාවක්‌ වීමට මෙරැටියනට යළි හැකිවෙතොත් එය ද කසළ උවදුරට 50% විසඳුමකි.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.