කිලිනොච්චියේදී පොලිසියට වෙඩි

නෝමන් පලිහවඩන, හේමන්ත රන්දුණු


සිද්ධිය වූ ස්‌ථානයේ පොලිස්‌ පරීක්‌ෂණ සිදුවූ ආකාරය..

කිලිනොච්චිය පලෙයි ප්‍රදේශයේ රථවාහන පරීක්‍ෂාවේ යෙදී සිටි පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ වෙත ඊයේ (19 වැනිදා) අලුයම නාඳුනන පුද්ගලයකු සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම වෙඩි තැබීමෙන් පොලිස්‌ නිලධාරීන්ට හෝ පොලිස්‌ ජංගම රථයට හානි සිදු වී නැත. ප්‍රහාරය එල්ල වූ ස්‌ථානයේ තිබූ දුම්රිය සංඥ පෙට්‌ටියකට හානි සිදුවී ඇත.

ටී 56 ගිනි අවියක්‌ යොදා ගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර කුමන අරමුණකින් එය සිදු කළේද යන්න අනාවරණය වී නැත.

කිලිනොච්චිය පොලිසියට අනුයුක්‌ත රථවාහන නිලධාරීන් පිරිසක්‌ ඊයේ (19 දා) අලුයම 1.00 ට පමණ පලෙයි ප්‍රදේශයේ වාහන පරීක්‍ෂාවක්‌ කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී තිබිණි.

පොලිස්‌ නිලධාරීන් රථවාහන රාජකාරි කළ ස්‌ථානයට නුදුරින් කැලෑවේ කිසියම් ශබ්දයක්‌ ඇසී ඇති අතර එක්‌ පොලිස්‌ නිලධාරියකු විදුලි පන්දමක්‌ ගෙන එය පරීක්‍ෂා කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාර පොලිස්‌ නිලධාරීන් වෙත එල්ලවී ඇත.

මෙම ප්‍රහාරයෙන් පසුව පොලිසිය සහ යුද හමුදාව ප්‍රදේශයේ ක්‍ෂණික සෝදිසි මෙහෙයුමක්‌ කළ ද ඊට සම්බන්ධ කිසිවකු අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

උතුරේ නැවත භීෂණ තත්ත්වයක්‌ ඇතිවන බවට ඒත්තු ගැන්වීම සඳහා කිසියම් සංවිධානාත්මක පිරිසක්‌ මෙම ප්‍රහාරය එල්ල කළේ ද යන්න පිළිබඳව පොලිසිය සැක පහල කරයි.
 

 


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.