පිළියන්දල වෙඩි වරුසාවට මැදි වූ
සමාධි දියණිය දෙනෙත් පියාගනියි


හේමන්ත රන්දුණු

පිළියන්දල නගර මධ්‍යයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වෙඩි ප්‍රහාරයකට ලක්‌ව බරපතළ තුවාල ලබා දින දහයක්‌ තිස්‌සේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 12 හැවිරිදි සමාධි පතිරණ දැරිය ඊයේ (19 වැනිදා) අලුයම මිය ගියාය.

කොළඹ ජාතික රෝහලේ සහ කළුබෝවිල රෝහලේ වෛද්‍යවරු දින දහයක්‌ තිස්‌සේ සමාධි දැරියගේ ජීවිතය බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වී සිටියහ.

එහෙත් ඊයේ අලුයම මුළු රටම කම්පාවට පත්කරමින් සමාධි දැරිය සදහටම දෙනෙත් පියා ගත්තාය.

මෙසේ මිය ගිය 12 හැවිරිදි දැරිය පිළියන්දල මඩපාත ගල්පොත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අතර ඇය බොරැල්ල රත්නාවලී බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියාය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වෙඩි ප්‍රහාරවලට ලක්‌වීමෙන් සමාධි දැරියගේ වැඩිමහල් සොහොයුරා වන 17 හැවිරිදි සදීප රුක්‍ෂාන් සහ ඇගේ බාල සොයුරිය වන 08 හැවිරිදි සෙනුරි පතිරණ දැරිය ද තුවාල ලැබූහ.

සෙනුරි දැරිය මීට දින කීපයකට උඩදී සුවය ලබා රෝහලෙන් පිටව ගිය අතර 17 හැවිරිදි සදීප රුක්‍ෂාන් මේ වන විටත් අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

ඉකුත් 09 වැනිදා රාත්‍රි 8.15 ට පමණ පිළියන්දල - මොරටුව පාරේදී ජාවාරම් කල්ලියක්‌ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක්‌ ඉලක්‌ක කර ප්‍රහාරයක්‌ එල්ල කළහ.

එම ප්‍රහාරයෙන් පොලිස්‌ නිලධාරියකු මරුමුවට පත්වූ අතර මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතා බරපතළ තුවාල ලැබීය.

මේ වන විටත් රංගජීව මහතා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම ප්‍රහාරය එල්ල වූ ස්‌ථානයට යාබදව 'මාතර බත් කඩය' නමැති ආපනශාලාව පිහිටුවා තිබූ අතර එහි හිමිකරු තම දරුවන් තිදෙනා ද සමඟ එහි පැමිණ සිටියේය.

මෙම ව්‍යාපාරිකයා වෙසක්‌ පොහොය දින බත් දන්සලක්‌ දීමට සූදානම් කර තිබූ අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ඔහු තම දරුවන් තිදෙනා ද සමඟ එහි පැමිණ සිටියේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ල කළ ප්‍රහාරයෙන් ව්‍යාපාරිකයාගේ දරුවන් තිදෙනා වන සමාධි, සෙනුරි සහ සංදීප බරපතළ තුවාල ලැබූ අතර ඔවුහු ඒ මොහොතේම කළුබෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

මෙහිදී බරපතළ තුවාල ලබා දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයෙන් සිටි සමාධි දැරිය කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ යන්ත්‍රයක ආධාරයෙන් ප්‍රතිකාර ලබමින් සිටියාය.

මරුමුවට පත්වූ සමාධි දැරියගේ මරණ පරීක්‍ෂණය ඊයේ (19 දා) සවස පැවැත්වීමට නියමිතව තිබිණි.

ගල්කිස්‌ස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි චන්දන අතුකෝරල මහතාගේ අධීක්‍ෂණය යටතේ මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වේ.


 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.