මොන්ටිසෝරි අක්‌කා වල් අලි පහරින් මියයයි
චූටි නංගියි ආච්චියි රෝහලේ

කැකිරාව - සුදත් ඒකනායක සහ ගලේවෙල - මොහොමඩ් බුහාර්ඩීන්


ගල්කිරියාගම පොලිස්‌ වසමේ ගල්කිරියාගම - නෑගම්පහ මාර්ගයේදී වන අලියකු විසින් සිදු කරන ලද පහරදීමකින් පෙර පාසල් දැරියක මියගොස්‌ අවුරුදු 2 ක්‌ වයසැති ඇගේ නැගණිය සහ මිත්තනිය බරපතළ තුවාල ලබා ඇත.

මියගිය දැරිය මිත්තනිය සමග පෙර පාසලට යමින් සිටියදී ඊයේ (19 වැනිදා) මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. මිත්තනිය විසින් දෙහැවිරිදි දැරිය ද මෙහිදී වඩාගෙන ගොස්‌ ඇත.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස්‌ ඇත්තේ ගල්කිරියාගම නෑගම්පහ පදිංචිව සිටි නිරුපමා ලක්‍ෂානි (04) නමැති දැරියකි.

මල්ලිකා හේරත් (57) සහ පැහැසරා ගිම්හානි (02) යන අය තුවාල ලබා ප්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මියගිය දියණියගේ මෘතදේහය ආඬියාගල රෝහලේ මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා තබා තිබිණි.

වල් අලි ගැටලුව සම්බන්ධව ප්‍රදේශවාසීන්ගේ විරෝධය වනජීවී නිලධාරීන්ට එල්ල වුණු අතර පලාගල වැඩබලන කැකිරාව ප්‍රාදේශීය මහ ලේකම් අතුල සෙනරත් බණ්‌ඩාර මහතා සිද්ධිය වූ ස්‌ථානයට ගොස්‌ පරීක්‍ෂා කර බලා මාර්ගය දෙපස කැලෑව එළිපෙහෙලි කිරීමට නිලධාරීන්ට උපදෙස්‌ ලබා දුන් අතර මියගිය පෙර පාසල් සිසුවියගේ අවසන් කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය සියලුම උදව් සහ රජයෙන් ලබාදෙන රුපියල් පනස්‌ දහසක මුදල එදිනම ලබාදීමට ප්‍රාදේශීය මහලේකම්වරයා කටයුතු කළේය.

මියගිය පෙර පාසල් දියණියගේ මව වන ඩී. එම්. කාංචනා මධුමාලි දිසානායක මහත්මිය සිද්ධිය සැලවීමෙන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටින අතර ඇයගේ සැමියා අනතුරකට ලක්‌වීමෙන් ආබාධිතව සිටී.

සිද්ධිය සම්බන්ධව ගල්කිරියාගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.