'අන්තරේ' සිසුන්ට ඇප

සමන්ත ඉලේපෙරුම

අධිකරණය මගින් තහනම් කර තිබියදී සයිටම් විරෝධී උද්ඝෝෂණයක්‌ පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලයේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේනම හා ශිෂ්‍යයන් හත්දෙනා රුපියල් ලක්‍ෂය බැගින් වූ පෞද්ගලික ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් බණ්‌ඩාර මහතා ඊයේ (19 දා) නියෝග කළේය.

සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී සැකකාර සිසුන් වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරුන් හා පැමිණිල්ල මෙහෙය වූ කුරුඳුවත්ත පොලිසිය කළ කරුණු දැක්‌වීම් කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

සැකකාර සිසුන් ඇප මත මුදා හරිමින් ඔවුන්ට අවවාද කළ මහෙස්‌ත්‍රාත්වරයා පරීක්‍ෂණවලට බාධා සිදු නොකරන ලෙසට දන්වා සිටියේය.

පැමිණිල්ල ලබන ජුලි 21 දා නැවත කැඳවන ලෙසට නියෝග කළ මහෙස්‌ත්‍රාත්වරයා එදිනට සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන පරීක්‍ෂණයේ ප්‍රගතිය දැනුම් දෙන ලෙසට පොලිසියට නියෝග කළේය.

සැකකාර සිසුන් විසින් සංවිධානය කර පවත්වනු ලැබූ උද්ඝෝෂණය තහනම් කරමින් අධිකරණය නියෝගයක්‌ නිකුත් කර තිබූ අතර පොලිස්‌ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, ඔවුන්ට තුවාල සිදු කිරීම, නීති විරෝධී රැස්‌වීමක සාමාජිකයන් වෙමින් මහජන පීඩනයක්‌ ඇතිවන අයුරින් උද්ඝෝෂණ පැවැත්වීම ආදී චෝදනා යටතේ සැකකාර සිසුන් අත්අඩංගුවට ගෙන තිබිණි.


 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.