කැලණිවැලි දුම්රිය මාර්ගය
ද්විත්ව මාර්ගයක්‌ කිරීම අත්‍යවශ්‍යයි

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

විකල්ප ඉඩම් පවරාගන්න සමීක්‌ෂණ කරන්න
ඒමේදී ජනතාව කලබල වෙන්න එපා

කැලණිවැලි දුම්රිය මාර්ගය දෙපස අනවසර පදිංචිවීම් පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවත්, පැවැති රජයන් සහ දේශපාලන නායකයනුත් වගකිව යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා (18 දා) ප්‍රකාශ කළේය.

කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම සඳහා සිදුකෙරෙන සමාජ ආර්ථික සමීක්‌ෂණය පිළිබඳව කොළඹ දිස්‌ත්‍රික්‌ දේශපාලන නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී ඇමැතිවරයා එසේ කීය. එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය, අද වන විට මෙලෙස අනවසර පදිංචි පවුල් 3000 ක්‌ විතර සිටිනවා. ඒ අය මේ මාර්ගය ආසන්නයේ ස්‌ථිර නිවාස ඉදිකරගෙන පදිංචි වෙලා සිටිනවා. මෙම නිවාසවල වහලවල් දුම්රිය මාර්ගයට ඉතාම ආසන්නවයි තියෙන්නේ. මෙම තත්ත්වය අනවසර පදිංචිකරුවන්ටත්, දුම්රිය මගීන්ටත් හරිම භයානක තත්ත්වයක්‌.

ඒ තත්ත්වයන් මඟහරවා ගනිමින් මෙම අනවසර පදිංචිකරුවන්ට විකල්ප ඉඩම් හා නිවාස ලබාදීලා ඔවුන්ට අසාධාරණයක්‌ නොවන පරිදි ඔවුන් මෙම දුම්රිය මාර්ගය දෙපසින් ඉවත් කරලා මෙම ද්විත්ව දුම්රිය මාර්ගය ඉදිකිරීමට අපි කටයුතු කරනවා. අවිස්‌සාවේල්ල සිට කොළඹ දක්‌වා හයිලෙවල් මාර්ගයේ පවතින අධික මාර්ග තදබදයට විසඳුමක්‌ ලෙසයි මේ මාර්ගය සංවර්ධනය කරන්න තීරණය කර තිබෙන්නේ. මේක සියලු ජනතාවට පහසුවක්‌. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් සහනදායී ණය ලෙස ඩොලර් මිලියන 600 ක මුදලක්‌ ලැබෙනවා. දුම්රිය මාර්ග ඉදිකිරීමට ප්‍රථම මේ පිළිබඳව සමාජ ආර්ථික සමීක්‌ෂණයක්‌ සිදුකළ යුතුයි. හේතුව මේ අනවසර පදිංචිකරුන්ට අසාධාරණයක්‌ නොවන අයුරින් මේ සංවර්ධන කටයුතු සිදුකළ යුතු නිසා. මේ සමාජ සමීක්‌ෂණය ඹභAඊෂඔAඔ නම් ස්‌වාධීන ආයතනය මඟින් සිදුකරනු ලබනවා. මෙම සමාජ ආර්ථික සමීක්‌ෂණය හෙට සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එහෙත් මේ පිළිබඳව කැලණිවැලි දුම්රිය මඟදෙපස සිටින අනවසර පදිංචිකරුවන් අතර විවිධ මත හා ප්‍රචාරයන් ඇතිවීමට පුළුවන්.

පාදුක්‌ක සිට කොළඹ දක්‌වා පමණක්‌ කැලණිවැලි දුම්රිය මාර්ගයේ 15,000 කට ආසන්න මගී ජනතාවක්‌ පැමිණෙන බැවින්, ඔවුන්ගේ ගමන් පහසුව සඳහා දැනට ක්‍රියාත්මක වන දුම්රිය 05 දුම්රිය 18 ක්‌ දක්‌වා වැඩිකළ යුතුයි. මේ සඳහා කොටුව සිට පාදුක්‌ක දක්‌වා ද්විත්ව දුම්රිය මාර්ගයක්‌ ස්‌ථාපිත කිරීමට නියමිතය. මෙම කැලණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක්‌ කිරීම අත්‍යවශ්‍ය කාරණයක්‌. ඒ නිසා මෙම ද්විත්ව මාර්ගය ඉදිකිරීමේදී විකල්ප ඉඩම් පවරාගත යුතුයි. ඒ සඳහා සමීක්‌ෂණයක්‌ සිදුකිරීමේදී ජනතාව අනවශ්‍ය කලබල ඇති කරාවි. ඔවුන් අතර වැරැදි ප්‍රචාර වේවි. මේ තත්ත්වය නැති කිරීමත් ඔවුන්ව දැනුවත් කිරීමත් සියලුදෙනාගේම වගකීම මෙන්ම යුතුකම ද වෙනව. මෙම අවස්‌ථාවට බස්‌නහිර පළාත් සභා අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් වන ගාමිණී තිලකසිරි, හෙක්‌ටර් බෙත්මගේ, රොඩ්නි ප්‍රෙෂර්, සුමිත් සොයිසා, සුසිල් කිදෙල්පිටිය යන මහත්වරු ද ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් නිහාල් සෝමවීර, දුම්රිය සාමාන්‍යාධිකාරි බී. ඒ. පී. ආරියරත්න යන නිලධාරීහු ද සහභාගි වූහ.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.