හිටපු ජනපති එන විරු සමරුවට
නිදහස්‌ චතුරශ්‍රය අහිමි වේ

උළෙල අද විහාරමහාදේවි උද්‍යානය අභියසදී

සමන් ගමගේ- අනුර බාලසූරිය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (20 දා) කොළඹ නිදහස්‌ චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබූ විජයග්‍රහණයේ රණවිරු සමරුව නතර කරන ලෙස සංස්‌කෘතික කටයුතු අධ්‍යක්‍ෂිකා අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය විසින් එහි සංවිධායකයන්ට දැනුම් දී ඇත.

මෙම රණවිරු සමරුව සංවිධානය කළ ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඇතුළු ජාතික සංවිධාන වෙනුවෙන් නිදහස්‌ චතුරශ්‍රය වෙන්කරවා ගත් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා වෙත ඊයේ (19 වැනිදා) සවස ලිඛිත දැනුම්දීමක්‌ කරමින් ඇය මේ බව දැනුම් දී තිබේ.

මෙම දැනුම් දීමට අනුව හිටපු ජනපති හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද (20 දා) නිදහස්‌ මන්දිර පරිශ්‍රයේ පැවත්වීමට නියමිතව තිබූ විජයග්‍රහණයේ රණවිරු සැමරුම එහි පැවත්වීමට බාධා ඇති වී තිබෙන බැවින් ඊට සහභාගි වීමට පැමිණෙන ජනතාව සමඟ පා ගමනින් විහාරමහාදේවි උද්‍යානය අසල බුද්ධ ප්‍රතිමාව අභියසට ගොස්‌ එහිදී ආගමික වතාවත් සිදු කරමින් රණවිරුවන් සැමරිමට සංවිධායකයන් තීරණය කර ඇත.

තමන් වෙත උපදෙස්‌ ලැබී ඇති අන්දමට රණවිරුවන් සඳහා වූ ජාතික වැඩසටහනක්‌ සඳහා නිදහස්‌ මන්දිර පරිශ්‍රය වෙන්කරීමට සිදුව ඇති බැවින් හිටපු ජනාධිපති හා ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ රණවිරු සැමරුම් උත්සවයට ඉඩ ලබා දිය නොහැකි බවද සංස්‌කෘතික අධ්‍යක්‍ෂවරිය එවා තිබෙන ලිපිය මගින් ප්‍රකාශ කර තිබේ.

අභයන්තර කටයුතු සහ සංස්‌කෘතික කටයුතු ඇමැති එස්‌. බී. නාවින්න සහ අමාත්‍යංශ ලේකම්වරයාට මෙන්ම ප්‍රදේශය භාර ඡේHෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයාටත්, කුරුඳුවත්ත පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාටත් පිටපත් යවමින් සංස්‌කෘතික කටයුතු අධ්‍යක්‍ෂිකා අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය මෙම දැනුම්දීම කර ඇති අතර එම ලිපිය සමඟ නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා නිදහස්‌ මන්දිර පරිශ්‍රය වෙන්කරවා ගැනීම වෙනුවෙන් සංස්‌කෘතික දෙපාර්තමේන්තුවට ගෙවන ලද රුපියල් හත්දහසක මුදලද චෙක්‌ පතක්‌ මගින් යළි එවීමටද ඇය පියවර ගෙන තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.