විවේචකයන් කුමක්‌ පැවසුවත්
ත්‍රිවිධ හමුදාව ශක්‌තිමත් කරනවා

- ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

විවේචකයන් කුමක්‌ පැවසුවද ජාතික ආරක්‌ෂාව පිළිබඳ දරන්නා වූ වගකීම්වලදී ත්‍රිවිධ හමුදාව ශක්‌තිමත් කිරීමේ කාර්යය නොපිරිහෙළා ඉටුකිරීමට රජය කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19 දා) පස්‌වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල පිහිටි රණවිරු ස්‌මාරකය අබියස පැවති 2017 ජාතික රණවිරු සැමරුම් උත්සවය අමතමිනි.

වසර 30 කට ආසන්න කාලයක්‌ පැවති යුද්ධයේදී මියගිය සහ ආබාධිත වූ සියලු රණවිරුවන් වෙනුවෙන් වූ වගකීම් සහ යුතුකම් නොපිරිහෙළා ඉටු කරනවා සේම රටේ අනාගතය සඳහා අද සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් නව තාක්‌ෂණය සමඟ ඉහළ ගුණාත්මක සේවාවක්‌ සඳහා ඉදිරියට ගෙන යැමේ වගකීම ද ඉටු කරන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.

ගෙවී ගිය වසර දෙකහමාරක කාලය තුළ රණවිරු සුබසාධනය වෙනුවෙන් රජය නව වැඩසටහන් රැසක්‌ දියත් කළ බව ද සිහිපත් කළ ජනාධිපතිතුමා රණවිරු නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ විධිමත් සහ කාර්යක්‌ෂම කරමින් සෑම රණවිරුවෙකුටම නිවසක්‌ ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව ද කියා සිටියේය.

ජාතික ආරක්‌ෂාව පිළිබඳ පමණක්‌ නොව මත්ද්‍රව්‍ය මර්දනය ඇතුළු ජාතික වැඩසටහන්වලදී ද, සංවර්ධන වැඩපිළිවෙළේදී සහ සමාජ සුබසාධනයේ දී ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ලබා දෙන දායකත්වය මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්‌ විය.

මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන්ට සිය උත්තමාචාරය පිළිගන්වමින් ජනාධිපතිතුමා රණවිරු ස්‌මාරකය වෙත පුෂ්පෝපහාර දැක්‌වීය.

මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්, පළාත් ආණ්‌ඩුකාරවරුන්, මැති ඇමැතිවරුන්, ජනාධිපති ලේකම්, ආරක්‌ෂක ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ප්‍රමුඛ ආරක්‌ෂක අංශ ප්‍රධානීහු සහ රණවිරු පවුල්වල සාමාජිකයන් මීට එක්‌ව සිටියහ.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.