බැඳුම්කර ජනාධිපති කොමිසම
පර්පෙචුවල් නීතිඥවරුන්ගේ විරෝධතා මැද
බැඳුම්කර විස්‌තර ඇතුළත් ලේඛන
මහ බැංකුව කොමිසමට ලබාදෙයි


සරත් ධර්මසේන

2015 වර්ෂය තුළ සිදු වූ මහාභාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසිවලදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම, සේවක අර්ථ සාධක අරමුදල, ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුළු ආයතන කීපයක්‌ සමඟ කළ ගනුදෙනුවලට අදාළ විස්‌තර ඇතුළත් ලේඛන මහ බැංකුවේ තොරතුරු තාක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ වසන්ත අල්විස්‌ මහතා ඊයේ (19 වැනිදා) බැඳුම්කර ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළේය.

තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ අල්විස්‌ මහතා කොමිසම හමුවේ මීට පෙර දිනකදී සාක්‍ෂි දුන් අතර එකී ලේඛන ඉදිරිපත් කිරීමට ඊයේ නැවත කොමිසමට කැඳවා සිටි ඔහුගේ සාක්‍ෂිය මෙහෙයවනු ලැබුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද විජයතිලක මහතා විසිනි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා මුලින්ම එම ලේඛන කොමිසමට ඉදිරිපත් කරනවාට විරුද්ධත්වය පළ කළේය. ඔහු කියා සිටියේ කොමිසමට එම ලේඛන ඉදිරිපත් කිරීමට පෙර ඒවා අධ්‍යයනය කිරීමට තමාට අවස්‌ථාවක්‌ ලබාදිය යුතුව තිබුණ බවයි.

එවිට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සඳහන් කළේ 2015 සිදු වූ බැඳුම්කර වෙන්දේසිවලට අදාළ ගනුදෙනු පිළිබඳ විස්‌තර ඇතුළත් ලේඛණ ලබාදිය නොහැකි බවය. පර්පෙචුවල් සමාගම කළ ගනුදෙනුවලට අදාළ ලේඛන පමණක්‌ පරීක්‍ෂා කර බැලීමට අවස්‌ථාව ලබාදිය හැකි බව ද ඔහු කීය.

කොමිසමේ සභාපති කේ. ටී. චිත්‍රසිරි මහතා - අවශ්‍ය ලේඛන කියන්න. ඒවා බලන්න දෙන්නම්. මේ සාක්‍ෂිකරුගෙන් පමණක්‌ නොව පර්පෙචුවල් සමාගම කළ ගනුදෙනු ගැන විස්‌තර කිරීමට එන සියලුම සාක්‍ෂිකරුවන්ගෙන් හරස්‌ ප්‍රශ්න ඇසීමට ඕනෑ තරම් කාලයක්‌ දෙන්නම්. ඒ නිසා මේ සාක්‍ෂිකරුට බාධා කරන්න එපා. ලේඛන ඉදිරිපත් කිරීමට ඉඩ දෙන්න.

අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විජයතිලක මහතාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරිස්‌ සමාගම ආයතන කීපයකට බැඳුම්කර අලෙවි කිරීම සහ බැඳුම්කර මිලදී ගනිමින් කළ ගනුදෙනුවලදී වැඩි කරගත් පොලී අනුපාතවලත් විනාඩි කීපයක්‌ තුළ රැස්‌කර ගත් අතිවිශාල මුදල් ප්‍රමාණය පිළිබඳ විස්‌තරයක්‌ ද ලේඛනවල සඳහන් වී ඇති පරිදි කොමිසමට විස්‌තර කළේය.

සේවක අර්ථසාධක අරමුදල සමඟ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම කළ ගනුදෙනුවලට අදාළ පොලී අනුපාතය ලේඛනවලට ඇතුළත් කර නැති බව ද තොරතුරු තාක්‍ෂණ අතිරේක අධ්‍යක්‍ෂ අල්විස්‌ මහතා කීය.

පර්පෙචුවල් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා මේ අවස්‌ථාවේදී අල්විස්‌ මහතා කළ හෙළිදරව්ව සම්පූර්ණ අසත්‍යයක්‌ යෑයි කියා සිටියේය.

විනිසුරු ජයවර්ධන මහතා (අල්විස්‌ මහතාගෙන්) - ඔය ලේඛනවලට ඇතුළත් විස්‌තරවල නිර්වද්‍යතාවය ගැන ඔබ සහතික වනවාද?

අල්විස්‌ මහතා - ඔව් ස්‌වාමීනි සියයට සියයක්‌ම සහතික වෙනවා.

විනිසුරු ජයවර්ධන මහතා - පර්පෙචුවල් සමාගම අර්ථසාධක අරමුදල සමඟ හැර අනිත් සමාගම් සමඟ කළ ගනුදෙනුවල ලැබූ පොලී අනුපාතය ලේඛනවල සටහන් වී තියනවද?

අල්විස්‌ මහතා - ඔව් ස්‌වාමීනි, අනෙක්‌ සියලුම ගනුදෙනුවල පොලී අනුපාතය තියෙනවා. නැත්තේ අර්ථසාධක අරමුදල කළ ගනුදෙනුව සම්බන්ධයෙන් පමණයි. අපේ දෙපාර්තමේන්තුව ලේඛනවලට ඇතුළත් කරන්නේ ගනුදෙනු කළ පාර්ශ්වයන් සපයන විස්‌තරයි. ඒවා නිවැරදිව ලේඛනගත කර තිබෙනවා.

අල්විස්‌ මහතාගේ සාක්‍ෂි විමසීම අවසන් කළ අතර පර්පෙචුවල් සමාගම 2015 වර්ෂය තුළ සිදුකළ බැඳුම්කර වෙන්දේසිවලට අදාළව සිදුකර ඇති සෙසු ගනුදෙනුවල විස්‌තර දිවුරුම් පෙත්සමක්‌ මගින් කොමිසමට ඉදිරිපත් කරන ලෙස කොමිසමේ සභාපති චිත්‍රසිරි මහතා සාක්‍ෂිකරුට දැනුම් දුන්නේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.