අවමංගල නිවස ඉදිරිපිටදීම
අවමංගල රථයේ රියෑදුරු අවසන් ගමනේ


කන්දකැටිය - ජී. චතුරංග

මහියංගන - බදුල්ල මාර්ගයේ මීගහකිවුල බලගොල්ල ගම්මානයේ අවමඟුල් නිවසක්‌ ඉදිරිපිටදී 17 දා සවස 2.00 ට පමණ සිදුවූ රිය අනතුරකින් මළසිරුර ප්‍රවාහනය කිරීමට පැමිණ සිටි අවමංගල රථයේ රියෑදුරා මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක හැපීමෙන් එම ස්‌ථානයේදීම ජීවිතක්‌ෂයට පත්ව ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.

බණ්‌ඩාරවෙල මාර්ලොඡ් හි පදිංචි වීරයියා ඡේ. කුමාර් (60) නැමැති පුද්ගලයකු සිද්ධීයෙන් මියගොස්‌ ඇත.

මොහු මීගහකිවුල බලගොල්ල ප්‍රදේශයේ නිවසක තිබූ මළසිරුරක්‌ අවමංගල උත්සවයෙන් පසුව ප්‍රදේශයේ පොදු සුසාන භූමිය වෙත රැගෙන ඒම සඳහා එහි ගොස්‌ ඇති අතර අවමංගල උත්සවය නිමා කර මළසිරුර තමුන්ට බාර දෙන තෙක්‌ තම වාහනය අසලට වී සිට ඇති අතර ඒ අවස්‌ථාවේ මාර්ගයේ ගමන්ගත් වෑන් රථයක්‌ ඔහුගේ සිරුරේ හැපීමෙන් මෙම අනතුර සිදුව ඇත.

තුවාලකරු වහාම මීගහකිවුල රෝහලට ගෙන ගොස්‌ ඇතත් වෛද්‍යවරු ඔහු ජීවිතක්‌ෂයට පත්ව ඇති බව දන්වා ඇත.

කන්දකැටිය පොලිසිය මඟින් වෑන් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර කන්දකැටිය පොලිස්‌ රථවාහන අංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.