කුවේටයේදී සොරකම් කළ ඒ.ටී.එම්. කාඩ්පතින් ලංකාවේදී දිගට හරහට මුදල් ඇදලා
සැකකාර අයියා - නගෝ සී.සී.ටී.වී. කැමරාවෙන් කොටුවෙති

ගාල්ල - ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි



ඒ. ටී. එම්. කාඩිපතක්‌ සොරකම්කොට එම කාඩ්පත යොදාගෙන වංචනික ලෙස මාතලේ ප්‍රදේශයේ කාන්තාවකගේ බැංකු ගිණුමෙන් රුපියල් 3.35000 ක මුදලක්‌ ලබා ගත් අයියා - නගෝ දෙදෙනකු නෙළුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අයියා - නගෝ දෙදෙනා හිනිඳුම හල්විටිගල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. මෙසේ මුදල් සොරකම් කොට තිබුණේ මාතලේ ප්‍රදේශයේ පදිංචි (34) කාන්තාවකගේ බංකු ගිණුමෙනි. මෙම කාන්තාව කුවේට්‌ රටේ සේවය කොට ඇත. එම රටේ ගෘහ සේවිකාවක්‌ ලෙස සේවය කරමින් සිටියදී ඇය සේවය කළ නිවෙස්‌ හිමියා විසින් වැටුප් නොගෙවීම නිසා මෙම කාන්තාව නිවසින් පැන ගොස්‌ ඇති අතර එහිදී කුවේට්‌ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කොට ඇත. බන්ධනාගරය තුළ සිටියදී අසනීප වූ මෙම කාන්තාව රෝහල්ගත කොට තිබේ.

බන්ධනාගාරය තුළදී මෙම කාන්තාවගේ ඒ. ටී.එම්. කාඩ්පත නැතිවී තිබේ. ඇය මෙම කාඩ්පත් සොයා ගැනීමට උත්සාහ කළද නොහැකි වී ඇත. පසුව ඇය එම රටින් මෙරටට එවා තිබේ. මෙරටට පැමිණ සතියකට පමණ පසු මෙම කාන්තාව මාතලේ නගරයේ පිහිටි පුද්ගලික බැංකුවට ගොස්‌ තම බංකු පොත ඉදිරිපත් කොට මුදල් ලබා ගැනීමට කටයුතු කර තිබේ.

බැංකු ගිණුමේ ඇත්තේ රුපියල් 800 ක පමණ මුදලක්‌ බව ඇයට බැංකුවෙන් පවසා තිබේ. එහෙත් මෙම කාන්තාව පවසා ඇත්තේ තමන්ගේ බැංකු ගිණුමේ රුපියල් තුන් ලක්‌ෂයකට වැඩි මුදලක්‌ ඇති බවය. පසුව බැංකුවේ නිලධාරීන් විසින් ඇගේ ගිණුම පරීක්‌ෂා කොට පවසා ඇත්තේ නෙළුව, උඩුගම, හා ගාල්ල යන ප්‍රදේශවල පිහිටි ස්‌වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර මඟින් මෙම මුදල් වරින්වර ගෙන ඇති බවය. වැඩිම මුදලක්‌ ගෙන තිබී ඇත්තේ නෙළුව ප්‍රදේශයේ පිහිටි ස්‌වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් වන අතර මේ නිසා අදාළ කාන්තාව නෙළුව පොලිසියට පැමිණ මේ ගැන පැමිණිලි කොට ඇත. නෙළුව පොලිස්‌ ස්‌ථානාධිපති බුද්ධික පනාවෙල මහතා විසින් අධිකරණ නියෝගයක්‌ ලබාගෙන අදාළ ටෙලර් යන්ත්‍රවල සී.සී.ටී.වී. දර්ශන ලබාගෙන තිබේ.

එම දර්ශන පරීක්‌ෂාකොට නෙළුව පොලිසියේ නිලධාරීන් විසින් මාසයක පමණ කාලයක්‌ මේ ගැන පරීක්‌ෂණ පවත්වා පෙරේදා (17 දා) හිනිදුම හල්විටිගල ප්‍රදේශයේදී මෙම සොරකමට සම්බන්ධ අයියා-නගෝ දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර සොරකමකට සම්බන්ධ කාන්තාවද කුවේට්‌ රටේ සේවය කොට ඇති බන්ධනාගාරය තුළදී මෙම ඒ.ටී.එම්. කාඩ්පත සොරකම්කොට ගෙන ඇති බැව් පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත. එම් කාඩ්පතේ කවරය තුළ රහස්‌ අංකයද තිබී ඇත. පසුව මෙම කාන්තාව මෙරටට පැමිණ තම අයියා සමඟ එකතු වී ඒ. ටී. එම්. කාඩ්පත උපයෝගි කරගෙන මුදල් ලබාගෙන ඇත. මෙසේ ලබාගත් මුදල්වලින් යතුරුපැදියක්‌ මිලදීගෙන ඇති අතර අනික්‌ මුදල් වියදම් කොට ඇත.

සැකකරුවන් උඩුගම මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 24 වැනි දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාරගත කොට ඇත. නෙළුව පොලිස්‌ ස්‌ථානාධිපති බුද්ධික පනාවෙල, උ.පො.ප. වීරවර්ධන, පො.සැ. (56022) වර්ණදාස යන නිලධාරීන් විසින් පරීක්‌ෂණ කටයුතු සිදු කරනු ලැබීය.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.