ආසියානු යොවුන් දැල්පන්දු පරාජයට
ඇමැති කරුණු සොයයි

ලෝක කුසලාන ගමනත් කොට උඩ

අසේල විතාන

ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම ලද පරාජය සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක්‌ ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කටයුතු කරගෙන යන බවත් මේ වන විටත් කණ්‌ඩායම් නායිකාව සහ කළමනාකරුගෙන්ද අදාළ තරගාවලි පරාජය පිළිබඳව අමාත්‍යවරයා කරුණු විමසා ඇති බවත් 'දිවයින' ට වාර්තා වේ.

කණ්‌ඩායමේ බෙදීමක්‌ තිබූ බවත් ඇතැම් ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණය අනවශ්‍ය වූ බවත් තමන්ට හැඟී ගිය බව කණ්‌ඩායම් නායිකා නදී මධුෂිකා 'දිවයින' කළ විමසීමකදී පවසා සිටියේය.

''ඇත්තටම මට පළමු තරගය ක්‍රීඩා කරන්න අවස්‌ථාව දුන්නෙ නැහැ. ඒ වගේම තෙවැනි ස්‌ථානය සඳහා කළ තරගයේ දෙවැනි භාගයේදීත් මාව එළියෙන් තිබ්බා. සාමාන්‍යයෙන් නායිකාවකට එහෙම වෙන්න බැහැ. නමුත් මම කාටවත් ඇඟිල්ල දිගු කරන්නේ නැහැ. ඉදිරියේදී හෝ මෙවැනි දේවල් නොවිය යුතුයි." යනුවෙන් යොවුන් දැල්පන්දු නායිකාව වැඩිදුරටත් පවසා සිටියේය.

කෙසේ වෙතත් උද්ගත වී ඇති තත්ත්වය කඩිනමින් නිරාකරණ කර ගනිමින් මින් ඉදිරියට එවැනි දේවල් සිදු නොවීමට වගබලා ගැනීමේ මූලික වගකීම ක්‍රීඩා ඇමැතිවරයාගේ කරමත පැටවී තිබේ. එබැවින් ඔහු මේ වන විට අදාළ පාර්ශව ගෙන්වා වෙන වෙනම සාකච්ඡා කොට පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇති බවද දැනගන්නට තිබේ.

ඉකුත් වසරේ ආසියානු යොවුන් දැල්පන්දු ශූරියන් වූ ශ්‍රී ලංකාව මෙවර තායිලන්තයටද ඉතිහාසයේ පළමු වරට පරාජයට පත්විය. අනතුරුව හොංකොං සහ සිංගප්පූරුව හමුවේද ශ්‍රී ලංකාව පරාජයට පත්වීමෙන් සිව්වැනි තැනට ඇද වැටුණි.

තවත් සති කිහිපයකින් ආරම්භ වන යොවුන් දැල්පන්දු ශූරතාවට ආසියානු කුසලාන ක්‍රීඩා කළ කණ්‌ඩායම යෑවීමට කලින් තීරණය කර තිබුණ ද උද්ගතවී ඇති තත්ත්වය අනුව අලුතින් කණ්‌ඩායමක්‌ නම් කිරීමට දැල්පන්දු පරිපාලනය කටයුතු කරමින් සිටියි. එහෙත් අදාළ ලෝක කුසලාන තරගාවලියට කණ්‌ඩායම සහභාගි කරවන්නේද යන්න ක්‍රීඩා ඇමැතිවරයා මේ වන තෙක්‌ දැල්පන්දු සංගමයට නිල වශයෙන් දන්වා නැතැයි වැඩිදුරටත් සඳහන් වේ.

කණ්‌ඩායමක්‌ ලෙස රට වෙනුවෙන් එකට වැඩ කිරීමට නොහැකි සංයුතියක්‌ ජාත්‍යන්තර තරගාවලිවලට ඉදිරිපත් කිරීමෙන් සිදුවන අගතිය හේතුවෙන් ඇමැතිවරයා දැඩි පියවරක්‌ අනුගමනය කිරීමටද නියමිතව තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයා මෙතෙක්‌ නිල ප්‍රකාශයක්‌ සිදු නොකළ අතර ඉදිරියේදී එතුමාගේ තීරණය ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.