මාලිංග දෙවැනි පුහුණු තරගයේ සිට
ශ්‍රී ලංකා පිලට එක්‌ වෙයි


චැම්පියන්ස්‌ කුසලාන එක්‌ දින ක්‍රිකට්‌ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංයුතිය මේ වන විට එංගලන්තයට ගොස්‌ තිබුණද කණ්‌ඩායමට එක්‌ව සිටින ලසිත් මාලිංග අයි.පී.එල්. තරගාවලිය අවසන් වූ විගස ශ්‍රී ලංකා පිල සමඟ එක්‌වීමට නියමිතව සිටියි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුහුණුකරු ග්‍රැහැම් ෙµdaඩ් මහතා පවසා සිටියේ මාලිංග එනතුරු අපි බලාගෙන ඉන්නවා ඔහු අපට විශාල ශක්‌තියක්‌ යනුවෙනි. ''මාලිංග සහ කුලසේකර මේ තරගාවලියේදී අපිට ඉතාමත් වැදගත්ම පන්දු යවන්නන් දෙදෙනෙක්‌. මම හිතන විදිහට ස්‌කොට්‌ලන්තය සමඟ පැවැත්වෙන දෙවැනි පුහුණු තරගයේ ඉඳල මාලිංග කණ්‌ඩායමට එක්‌ වේවි. තාම ඔහුගේ තත්ත්වය මම දැක්‌කෙ නැහැ.'' යනුවෙනි.

ශ්‍රී ලංකා පිල පෙරේදා (18 දා) එංගලන්තයට පිටත් වූ අතර ඔවුන් අයි.සී.සී. යෙන් ලබාදෙන පුහුණු තරග දෙකට අමතරව ස්‌කොට්‌ලන්තය සමඟ තවත් අතිරේක පුහුණු තරග දෙකකට ද සහභාගි වීමට නියමිතව සිටියි. ලබන පළමු වැනිදා චැම්පියන්ස්‌ කුසලාන තරගාවලිය ආරම්භ වන අතර එහිදී ශ්‍රී ලංකාව 'බී' කාණ්‌ඩයේ ප්‍රබල කණ්‌ඩායම් දෙකක්‌ වන ඔස්‌ටේ්‍රලියාව සහ නවසීලන්තය සමඟ පුහුණු තරග දෙකකට සහභාගි වීමට නියමිතය. ඔස්‌ටේ්‍රලියාව සමඟ ලබන 26 වැනිදාත් නවසීලන්තය සමඟ ලබන 30 වැනිදාත් ශ්‍රී ලංකා පිල පුහුණු තරගවලට සහභාගි වේ.

කෙසේ වෙතත් මාලිංගට අයි.පී.එල්. අත්දැකීම තම කණ්‌ඩායමට ඉතාමත් වටිනා බැවින් ඔහුට දිගට අයි.පී.එල්. ක්‍රීඩා කිරීමට අවසර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතාද පවසා සිටියේය. ''මාලිංග අපිට වටිනා ක්‍රීඩකයෙක්‌. ඔහු පසුගිය දවස්‌වල ආබාධයක්‌ හේතුවෙන් තරග ක්‍රීඩා කළේ නැහැ. ඒ නිසා අයි.පී.එල්. කියන්නේ ජාත්‍යන්තර මට්‌ටමේ හොඳම තරගාවලියක්‌. එහිදී ඔහුට ලැබෙන අත්දැකීම ඉතාමත් වටිනවා. ඒ නිසයි ඔහුට දිගටම අයි.පී.එල්. ක්‍රීඩා කරන්න අවසර ලබාදුන්නේ.''

ඊයේ රාත්‍රියේදී ලසිත් මාලිංග ක්‍රීඩා කරන මුම්බායි කණ්‌ඩායමට තීරණාත්මක තරගයක්‌ පැවැති අතර එම තරගය මුම්බායි පිල ජය ගතහොත් ලබන 21 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරග අවස්‌ථාව උදාකර ගනු ලබයි. යම් හෙයකින් ඊයේ රාත්‍රියේදී ඔවුන් පරාජයට පත්වුවහොත් මාලිංගට ශ්‍රී ලංකා කණ්‌ඩායමට දින කිහිපයක්‌ කලින් එක්‌වීමේ අවස්‌ථාව තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.