සෙල්ෆි ගැනීමට ගිය දොස්‌තර මාකෙළි ඇල්ලට බිලිවෙයි

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ, මහිලාල් පද්මසූරිය - අගලවත්ත/
පාලින්දනුවර - නන්දන ශ්‍රී කෝට්‌ටෙගොඩ

මාකෙළි ඇල්ල ජලාශය ආසන්නයේ ගලක්‌ මත නැගී සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටි 27 හැවිරිදි වෛද්‍යවරයකු පෙරේදා (20 දා) සවස ඇල්ලට වැටී මරුමුවට පත්වී ඇතැයි බදුරලිය පොලිසිය පවසයි.

මෙසේ මියගොස්‌ ඇත්තේ ජාතික රෝහලේ සේවයේ නියුතු මහනුවර අළුත්වෙල පදිංචිව සිටි සමීර දිසානායක නමැති වෛද්‍යවරයෙකි.

වෛද්‍යවරුන් 57 දෙනකුගෙන් සමන්විත කණ්‌ඩායමක්‌ දෙමළ භාෂා පුහුණු පාඨමාලාවක්‌ සඳහා අගලවත්ත ජාතික පුහුණු පාසලට පැමිණ ඇති අතර මෙම වෛද්‍යවරු කණ්‌ඩායම පෙරේදා මාකෙළිඇල්ල ජලාශය නැරඹීමට ගොස්‌ ඇත. එහිදී මරුමුවට පත්වූ වෛද්‍යවරයා ගලක්‌ මත නැග සෙල්ෆි ඡායාරූපයක්‌ ගැනීමට තැත් කරන විට පය ලිස්‌සා ගොස්‌ ඇල්ලට වැටී ඇතැයි පොලිසිය පවසයි.

බදුරලිය පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක පරාක්‍රම උඩවත්ත මහතා මාකෙළිඇල්ල යුද හමුදා කඳවුරේ භටයන් සමඟ එක්‌ව වෛද්‍යවරයාගේ සිරුර සෙවීමට කටයුතු කළ අතර පෙරේදා රාත්‍රිය වනතුරුත් සිරුර සොයා ගැනීමට නොහැකි විය.

ඊයේ (21 දා) පෙරවරුවේ යුද සහ නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් මියගිය වෛද්‍යවරයාගේ මළසිරුර ගොඩ ගන්නා ලදී. පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මළ සිරුර නාගොඩ රෝහලට රැගෙන ගිය බව බදුරලිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක පරාක්‍රම උඩවත්ත මහතා කීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.