දවල් කෑම වෙලාවට කතා කරනවා කිව්වත්
සැමියා කෝල් කළේ නැහැ
....
බිරිඳ හඬා වැටෙයි

මහියංගන - රංජිත් කරුණාවීර


"බබා පෙර පාසල් දැම්මද බලන්න උදේ මට කථා කළා...දවල් කෑම වේලාවට කථා කරනවා කිව්වා.. ආපහු මට කථා කළේ නෑ.." වැල්ලවත්ත පස්‌ මහල් ගොඩනැඟිල්ල කඩා වැටීමෙන් මියගිය හසලක කොළොන්ගොඩ පුද්ගලයාගේ බිරිඳ වන ඩබ්ලිව්. හර්ෂණි වික්‍රමසිංහ (28) සැමියාගේ දේහය රැගෙන ආ විට එසේ වැළපෙන්නට විය.

වැල්ලවත්ත පස්‌ මහල් ගොඩනැඟිල්ල කඩාවැටීමෙන් මියගිය පුද්ගලයන් දෙදෙනාගෙන් එක්‌ අයකු වන අංක 631/1 විලේයාය, කොළොන්ගොඩ, හසලක පදිංචි ආර්. එම්. සම්පත් උදය කුමාර නම් 31 වියෑති පුද්ගලයාගේ මෘත දේහය සෙනසුරාදා අලුයම හසලක, කොළොන්ගොඩ පිහිටි ඔහුගේ මවගේ නිවසට රැගෙන එන ලදී.

මියගිය සම්පත්ගේ දේහය නිවසට රැගෙන ආවද සිරුර තබාගැනීමට ඔහුගේ නිවසේ ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වීම හේතුවෙන් ඔහුගේ මවගේ නිවසේ දේහය තැන්පත් කෙරිණි. මියගිය සම්පත්ගේ නිවස කාමර දෙකකින් යුතු ඉතා කුඩා එකකි. නිවසේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ඔහු කොළඹ ප්‍රදේශයේ කුලී වැඩ සඳහා ගොස්‌ සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත.

මියගිය සම්පත් අවුරුදු 8 ක, 4 ක හා අවුරුද්දක වයස දියණියන් තිදෙනෙක්‌ සිටින පියෙකි.

දරුවන් තිදෙනා වෙනුවෙන් සාධාරණයක්‌ ඉටු කර දෙන ලෙස සම්පත්ගේ බිරිද හර්ෂණි හඬා වැළපුණාය.  මගේ අම්ම තාත්තා දෙන්නාම නෑ. කොටි කලබල කාලෙ නැති වුණා. ආච්චි ගාව තමයි මම හැදුනේ. මම කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඉඳලා තමයි මෙහාට ආවේ. සලකන්න බලන්න මට නෑදෑයො නෑ. ආච්චිත් දැන් නැති වෙලා. මත්තයාගෙ අම්මා විතරයි ඉන්නේ. එයාලාටත් අපිට සලකන්න වත්කමක්‌ නෑ. මගේ ගෙදර හදාගන්න මට උදව් කරන්න කියලා තමයි මම ඉල්ලන්නේ. මගේ දරුවන් ලොකු මහත් වෙනකම් උගන්න ගන්න කව්රුහරි උදව් කරන්න කියලා තමයි මම කියන්නේ. දරුවන් තුන්දෙනෙක්‌ එක්‌ක මම අද තනිවෙලා" පෙරළුන ගොඩනැඟිල්ලෙ හිමිකරුගෙන් ඔවුන් වෙත සාධාරණයක්‌ ඉටුවේවි යෑයි ඇය බලා පොරොත්තුවෙන් සිටී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.