සංස්‌කරණය : අජිත් අලහකෝන්

ප්‍රදර්ශන ගැටලුව නිසා '28' දෙවැනි තුන්වැනි
කොටස්‌ නිර්මාණය කිරීම සැක සහිතයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ ප්‍රසන්න ජයකොඩි

'සංඛාරා' හා 'කර්ම'වලින් පසුව ප්‍රසන්න ජයකොඩි තමන්ගේ තෙවන සිනමා ප්‍රවේශය '28' ප්‍රේක්‌ෂක රසවින්දයට මුදාහරින්න සූදානම්. ඒ අද (2 දා) සිට. ප්‍රතිභාසම්පන්න තරුණ නිර්මාණකරුවකු වන ප්‍රසන්න තමන්ගේ සුපුරුදු නිර්මාණ රටාවෙන් තරමට වෙනස්‌ අත්දැකීමක්‌ '28' ඔස්‌සේ ස්‌පර්ෂ කරන අතර සමාජය විසින් අර්බුදයක්‌ කරගෙන ඇති ලිංගිකත්වය, සමාජ පැවැත්ම වෙනුවෙන් සොබාදහම විසින් නිර්මාණය කර ඇති අපූර්ව සංසිද්ධියක්‌ ලෙසින් දකින්නට සමාජයට ඇරයුම් කරයි. '28' නිමිත්ත කර ගනිමින් අප ප්‍රසන්න ජයකොඩි සමග කතාබහ කළෙමු.

ඔබගේ නිර්මාණ චාරිකාවේ නවතම ප්‍රවේශය පිළිබඳ කතාකරමු?

මම කරපු අනිත් චිත්‍රපටවලට වඩා '28' වෙනස්‌ අත්දැකීමක්‌ කරා ගිය නිර්මාණයක්‌. මෙය ලංකාවේ ප්‍රේක්‌ෂකයන්ට පෙන්විය යුතුම කතාවක්‌ විදිහටයි මම දකින්නේ. ලාංකීය සමාජය තුළ තවමත් විවෘතව කතා නොකරන ප්‍රශ්නයක්‌ වන ලිංගිකත්වය කෙරෙහි පවතින විචිකිච්ජාව බය හා අර්බුදය නිසා ඇතිවන කාන්තා හිංසනය පීඩාකාරී බව මෙම නිර්මාණය තුළින් අනාවරණය කරනවා. ලිංගිකත්වය පිළිබ`ද අප විසින්ම හදාගත්ත සීමා මායිම් හේතුවෙන් අපි අතරම තියෙන අපිම කතා නොකරන ප්‍රශ්න ටික අපේම චරිත ඇසුරෙන් කතා කරන්න පුළුවන් තැනක ඉඳන් හැම කෙනෙක්‌ එක්‌කම ගනුදෙනුවක යෙදෙන්නයි මම මේ නිර්මාණය තුළින් වෑයම් කරන්නෙ.

මෙම සිනමාපටයේ නම ප්‍රේක්‌ෂකයාට කුතුහලය දනවන සුලුයි. චිත්‍රපටයේ නම අන්තර්ගතය ඉල්ලා සිටින එකක්‌ විය යුතුයි?

පැහැදිලිවම. චිත්‍රපටයක නම මාර වැදගත්. එතනදී නිර්මාණයේ ඇතුළාන්තය පිළිබඳ ගැඹුරෙන් හිතන්නට නිර්මාණයේ උපරිමය කරා ප්‍රේක්‌ෂකයා රැගෙන යැමේ මාර්ගයක්‌ ලෙස මම නිර්මාණයේ නම යොදාගන්නවා. මතුපිටින් පෙනෙන දෙයට එහා යථාර්ථයක්‌ දකින්න මෙහිදී ප්‍රේක්‌ෂකයා යොමු කිරීමයි මගේ අරමුණ වෙන්නේ.

28 තුළින් කතා කරන්නෙ ලිංගිකත්වය අර්බුදයක්‌ වෙච්ච සමාජය ගැනනෙ. මේක සමාජ ප්‍රශ්නයක්‌ වුණාට මෙය අර්බුදයක්‌ කර නොගත යුතු සොබාවික තත්ත්වයක්‌ බවයි මම කියන්න වෑයම් දරන්නෙ. ලෝකයේ පැවැත්ම වෙනුවෙන් නිර්මාණය කළ සකලවිධ සංසිද්ධීන් ගෙන් සඳට හිමිවන්නෙ ප්‍රමුඛ තැනක්‌. චන්ද්‍රමාස වලින් මාසයකට දින විසිඅටයි. ස`ද මෝරද්දී වී බොල් වෙනව. ලෙඩ්ඩු මියයනව. ගැහැණු දැරිවියන් වැඩිවියට පත්වෙනව. දරුවෙක්‌ බිහිවීමට කාන්තාවන්ට විලිරුදා ඇතිවෙනව. උපදින්නෙ මියෑදෙන්නේ උමතු වෙන්නේ හඳට. අපි බිහිවන කාන්තාවකගෙ ආර්ථව චක්‍රය ක්‍රියාත්මක වෙන්නෙ දින 28 කට වතාවක්‌. මේක සොබාධර්මයේ දේශපාලනයයි. අපි හිතන සමාජ දේශපාලනයෙන් එහාට ගිහින් වෙන තැනක ඉඳන් තමයි ලිංගිකත්වය ගැන හිතන්න ඕනෑ. අපි කනව බොනව හුස්‌ම ගන්නව වගේම සොබාවික ක්‍රියාවක්‌ ලෙස ලිංගිකත්වය ගැනත් හිතන්න ඕන කියන තැන ඉඳන් තමයි මම මේ චිත්‍රපටයට 28 කියන නම දෙන්නෙ.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කාන්තාවක්‌. මියගිය ගැහැණියක්‌. ඇයි මියගිය ගැහැණියක්‌ මෙම කතාව කියන්න ඉදිරිපත්වන්නේ?

සුද්දි මියගිය ගැහැණියක්‌. ප්‍රකාශ කරීම ඇතුළෙ ජීවත්වෙන ගැහැණිය සංකේත කිරීමයි කරන්නේ. අපිට මේ සමාජයේ පවතින දේවල් නිර්භයව කතාකරන්න ජීවත්ව සිටියදී හැකියාවක්‌ නැහැ. එලෙස කතා කරන්න ගියොත් සමාජය ඉදිරියේ ලැ-ජාවට පරිභවයට ලක්‌ වෙනව. මම මේ කියන්නෙ ඇත්තමයි. පණ තියෙන ගැහැනියකට නම් මේ සමාජයේ පවතින ඇත්ත කතාකරන්න බැහැ කියා සුද්දි එක තැනකදී කියනව. මෙම මියගිය කාන්තාව පිරිමියෙක්‌ විසින් මරාදමනු ලැබූ කාන්තාවක්‌.

ඔබ මෙම ගැහැණිය හා පිරිමියා දෙසත් සානුකම්පිත දෘෂ්ටියකින් බලනවා.

පිරිමියා අතින් මරණයට පත්වෙන ගැහැණිය වගේම එකී මරණය සිදුකරනු ලබන පිරිමියාත් අනුකම්පාවට ලක්‌විය යුතු බවයි මා පවසන්නෙ. එම පිරිමියා ලිංගික පීඩනයකින් පෙළෙනවා. ඔහු තමන්ගේ ලිංගික හැ`ගීම මුදාහරින්නෙ බලහත්කාරකමකින්. එම ක්‍රියාව සමාජයට හෙළිදරව් වීම නිසා ඇතිවෙන ලැ-ජාවෙන් ගැලවෙන්නයි පිරිමියා ගැහැණියව මරා දමන්නෙ. මෙහිදී ගොදුරක්‌ වන්නා සේම ගොදුරු කර ගන්නාත් ඒ තැනට පත්කරනු ලබන්නේ මේ සමාජය විසින්ම නිර්මාණය කරගෙන තියෙන ලිංගිකත්වය පිළිබඳ ආකල්පයන්.

මේ කතාකරන ප්‍රස්‌තුතය පොදු ප්‍රේක්‌ෂකයා කෙසේ පිළිගනු ඇතැයි ඔබ සිතනවාද?

මෙම නිර්මාණය තල තුනක්‌ තුළ දිගහැරෙනව. නමුත් චිත්‍රපටයේ සමස්‌තයම කැටි කරගන්න බැරි කෙනාටත් ගොනුකරගන්න දෙයක්‌ මෙහි තියෙනව. අපි කතා කරන ප්‍රශ්නය හැමෝටම දැනෙන දෙයක්‌. හැමෝගෙම බුද්ධි මට්‌ටම තුළ ගනුදෙනුවක්‌ කරන්න පුලුවන් තැනකයි මේ නිර්මාණය තියෙන්නේ. මොකද එහෙම විඳගන්න බැරි උනොත් මෙම වෑයමෙහි ප්‍රතිඑලයක්‌ නොවන නිසා. ලිංගිකත්වය කියන්නෙ කුණුහරුපයක්‌ හෝ විකෘතියක්‌ හෝ නොවෙයි. මෙය ලෝකයේ පැවැත්ම වෙනුවෙන් සකස්‌ වී ඇති ක්‍රියාදාමයක්‌ යන යථාර්ථය ප්‍රේක්‌ෂකයාට පහදාදීමයි මෙහිදී කෙරෙන්නෙ .

ඔබගේ ප්‍රස්‌තුතය වගේම ආකෘතියත් වෙනස්‌..?

ආකෘතියේ වෙනසක්‌ කරන්න මම උත්සාහ කළා. ගමනක්‌ යන අතරෙයි සමස්‌ත කතාවම දිගහැරෙන්නෙ.

චිත්‍රපටය නිර්මාණය වී වසර හතරකට පසුව එය ප්‍රේක්‌ෂකයන් වෙත ගෙනයැමට සිදුවීම නිර්මාණයට හා නිර්මාණකරුවාට සිදුවන අසාධාරණයක්‌ නේද?

චිත්‍රපට කරනවට වඩා එම නිර්මාණය ප්‍රේක්‌ෂකයන් අතරට ගෙනයනව කියන එක අසීරු දෙයක්‌ බවට පත්වෙලා. මේ දවස්‌වල චිත්‍රපට හැදෙන ප්‍රමාණයට අනුව මේ පවතින ප්‍රදර්ශන ආකෘතිය ඇතුළේ ප්‍රේක්‌ෂකයන්ට පෙන්නන්නෙ කොහොමද කියන එක විශාල ගැටලුවක්‌. මම මේ චිත්‍රපටය හදල අවුරුදු හතරක්‌ වෙනව. ප්‍රදර්ශන මණ්‌ඩල අනුමැතිය ලැබිල ප්‍රදර්ශනයට නියමිත වෙලා තිබුණෙ පසුගිය වසරේ අප්‍රෙල් මාසයේ. නමුත් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න අවස්‌ථාව ලැබෙන්නෙ ඊටත් වසරකට පස්‌සෙ. අවුරුදු හතරක්‌ චිත්‍රපටය පරණ වෙනව කියන්නෙ ප්‍රේක්‌ෂකයාට මෙන්ම නිර්මාණ කරුවාටත් සිදුවන අසාධාරණයක්‌. ඕනම දෙයක්‌ කාලීනයි. නිර්මාණ කරුවාට තමන්ගේ නිර්මාණ ගමන තුළදී ඔහුට ඒ ප්‍රකාශනය කරන්න ඕන අවස්‌ථාවයි එය ප්‍රේක්‌ෂකයා දකින අවස්‌ථාවයි අතර ලොකු කාල පරතරයක්‌ නිර්මාණය වෙලා. මෙය යහපත් තත්ත්වයක්‌ ලෙස මා දකින්නෙ නැහැ.

මෙම තත්ත්වයට පිළිතුරු දිය යුත්තේ ලංකාවේ චිත්‍රපටයක්‌ ප්‍රදර්ශනය කිරීමෙහිලා සකස්‌ වී ඇති ක්‍රමවේදයද ?

දැනට හරි ක්‍රමෙවේදයක්‌ අපි දකින්නෙ නැහැ. ලංකාවේ ක්‍රමවේද කොතරම් තිබුණත් ඒවා නීතිරීති අභිබවා වෙනස්‌ කම් සිද්ධ වෙනව.

සිනමාකරුවෙක්‌ ලෙස තමන්ගේ නිර්මාණ ජනතාව වෙත රැගෙන යැමේදී ඇතිවන අපහසුතාවය නිර්මාණාත්මක ගමනට බලපෑම් කරනවද?

නිර්මාණකරුවෙකුට නිර්මාණ නොකර ඉන්න වෙන එක ලොකු අපහසුතාවක්‌. පිටපත ලියල බලාගෙන ඉන්න බැරි නිසා මම 28 ට පසුව තව චිත්‍රපටයක්‌ නිර්මාණය කළා. එය සයිමන් නවගත්තේගම මහතාගේ 'දඩයක්‌කාරයා' නවකතාව ඇසුරෙන් කළ නිර්මාණයක්‌. ඒක කරලත් අවුරුදු දෙකහමාරක්‌ වෙනව. ඒ චිත්‍රපටය එළියට දෙන්නෙ කොහොමද කියල තවම හිතලවත් නැහැ. ඇතැම්විට ඒ වෙනුවෙනුත් තව කාලයක්‌ බලාගෙන ඉන්න සිදුවෙයි. '28' කොටස්‌ තුනකටයි මම නිර්මාණය කරන්න සැලසුම් කළේ. පළවෙනි කොටස ප්‍රේක්‌ෂකයා ඉදිරියට ගේන්න මෙතරම් කාලයක්‌ ගියානම් ඉතිරි කොටස්‌ නිර්මාණ කිරීම සැක සහිතයි. මේ තත්ත්වය නිර්මාණ වෑයම් යථාර්ථයක්‌ නොවන තැනකයි පවතින්නේ.

මේ බිම තුළ නිර්මාණකරුවෙක්‌ වීම ගැන පවතින්නේ කනගාටුවක්‌ද ?

අපේ රටේ නිර්මාණකරුවෙකුට නිර්මාණයක්‌ කරන්න හා එය රසිකයා කරා යොමුකිරීමට සුදුසු ආර්ථීක හා සමාජ වාතාවරණයක්‌ නැහැ. නමුත් නිර්මාණ සැදීමට වස්‌තු බීජයන් ඔලුවට ගලා එන වාතාවරණයක අපි ඉන්නෙ. ඒක තමයි නිර්මාණකරුවන් විදිහට මේ බිමේ අපිට තියෙන ලොකුම සම්පත.

ධම්මිකා සුරංජි පතිරණ


 

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.