සංහිඳියාව කියන්නේ තොවිල්වල එන වචනයක්‌
ජාතීන් අතර සහජීවනය ඇතිකරන්න
දේශපාලකයන්ට පුළුවන්ද ?

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

සාකච්ඡා කළේ පාලිත සේනානායක
ඡායාරූපය - සමන් රණවීර

තිස්‌ වසරකට වැඩි කාලයක්‌ අපේ රටේ සියලු දෙනාගේම පාහේ මුවඟ රැඳි වචනය වූයේ යුද්ධයයි. 2009 වසරේ දී එම යුද්ධය නිමා වූ පසු නැවතත් රට තුළ යුද්ධයක්‌ ඇති නොවීමට නම් සියලු ජාතීන් අතර සමගියක්‌ ඇතිවිය යුතුය යන අරුතින් සංහිඳියාව යන වචනය හඳුන්වා දෙනු ලැබුවේ දේශපාලකයන් විසිනි. 2009 වසරේ සිට වසර අටක්‌ තිස්‌සේ අපේ රටේ සෑම දේශපාලනඥයකුම පාහේ අවධාරණය කර සිටින්නේද නැවත යුද්ධයක්‌ ඇති නොවීමට නම් ජාතීන් අතර සංහිඳියාවක්‌ ඇතිකරගත යුතු බවයි.

යුද්ධය නිමා වී වසර අටක්‌ ගතවුවද ආණ්‌ඩුව අදහස්‌ කරන ජාතීන් අතර 'සංහිඳියාවක්‌' ඇති නොවීමට ප්‍රධාන හේතුව ඒ සඳහා නිවැරදි ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම බව මෙරට ජනමාධ්‍ය ක්‌ෂේත්‍රයේ ප්‍රාමාණික විද්වතකු වන කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ අදහසයි. සංහිඳියාව යන වචනයම වැරදි යෙදුමක්‌ යෑයි පවසන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් දිවයින ඉරිදා සංග්‍රහය සමග පැවැත්වූ සාකච්ඡාවකි මේ.

තිස්‌ වසරක්‌ පැවති යුද්ධය නිමා වී දැන් වසර අටක්‌ ගතවී තිබෙනවා. යළි යුද්ධයක්‌ ඇති නොවීමට නම් ජාතීන් අතර සංහිඳියාවක්‌ ඇති කරගත යුතු බව දේශපාලකයන් පැවසුවත් අද එය යුද්ධය අවසන් කිරීමටත් වඩා දුෂ්කර කටයුත්තක්‌ වී තිබෙනවා නේද?

සංහිඳියාව කියන වචනය කවුරුහරි භාවිතයට අරගෙන තියෙන්නෙ ඉංග්‍රිසි වචන දෙකක්‌ සිංහලට පරිවර්තන කරගෙන. පීස්‌µqල් කෝඑග්සිස්‌ටන්ස්‌ කියන වචනයයි රිකොන්සිලේෂන් කියන වචනයයි සිංහලට පරිවර්තනය කරගෙන සංහිඳියාව කියන වචනය හදා ගත්තට ඒ යෙදුම වැරදියි. සාමකාමී සහජීවනය සහ සමගි සන්ධානය යන තේරුම් දෙකෙන් එකක්‌ වත් ඔය සංහිඳියාව කියන වචනය තුළ නෑ. ඒක යොදාගෙන තියෙන්නෙ ජාතීන් අතර සමගිය බලෙන් ඇතිකරන්න ඕනෑය කියන අර්ථයෙන්.

සංහිඳ කියන්නෙ අපේ ගම්වල තිබෙන පාරම්පරිකව යාතු කර්ම ආදිය සිදුකරන තැනට. විමලරත්න කුමාරගම මහත්මයාගෙ කවිවල ඔය සංහිඳ කියන වචනය බොහෝවිට හමුවෙනව. සංහිඳියාවක්‌ ඇතිකරමු කියන අරුතින් මේ වචනය යොදා ගත්තට මේ තුළින් දේශපාලන අර්ථ ගණනාවක්‌ ගන්නයි හදන්නෙ. කිසිම ශබ්දකෝෂයක්‌ හෝ විශ්වකෝෂයක්‌ සමග මෙය ගැලපෙන්නෙ නෑ.

ජාතීන් අතර සමගිය බලෙන් ඇතිකිරීම යන අර්ථයෙන් මේ වචනය යොදාගෙන තිබෙන බව ඔබ සඳහන් කළා. එයින් සංහිඳියාවක්‌ ඇති වෙනවද?

මීට අවුරුදු හතළිහකට පමණ පෙර ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහත්මය ඔහුගේ වගතුග තීරුවේ සහජීවනය කියල වචනයක්‌ යෙදුවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ අය බලයෙන් සාමකාමී සහජීවනයක්‌ ඇතිකිරීමට වෑයම් කළත් කිසිවිටෙක සාමකාමී සහජීවනය බලයෙන් ඇති කළ නොහැකි බවයි එදා ඔහු එම වගතුග තීරුවෙන් කියා සිටියෙ.

උතුරේ සහ දකුණේ සමගිය ජනතාව තුළ ඇතිවිය යුතු දෙයක්‌. අපි උතුරට යන්න ඕන. උතුරේ අය දකුණට එන්න ඕන. එදා එය සිදුවුණා. උතුරේ විශ්වවිද්‍යාලය පිහිටෙව්වම එහි සිංහල අධ්‍යයන අංශයක්‌ ආරම්භ වුණේ ඒ නිසයි. කොළඹ, පේරාදෙණිය, කැලණිය විශ්වවිද්‍යාලවල හැම විෂයකටම දෙමළ බසින් පිළිතුරු ලියන්න පුළුවන්කම තිබුණ. දෙමළ බසින් උගන්වන කථිකාචාර්යවරු දකුණේ විශ්වවිද්‍යාලවල හිටියා. මහාචාර්ය සුචරිත ගම්ලත්, ධර්මසේන පතිරාජ, මහාචාර්ය සුනිල් ආරියරත්න යාපනේ විශ්වවිද්‍යාලෙ හිටියා. ඒ සියලුදෙනාම ඉගැන්නුවෙ සිංහල. සිංහල ඉගෙනගන්න කැමති ද්‍රවිඩ උපාධි අපේක්‌ෂකයො යාපනේ හිටියා. කිසිම ආයාසයක්‌ නැතිව සාමකාමී සහජීවනයකට පදනම වැටුණා. අද කිසිම විශ්වවිද්‍යාලයක ඒ තත්ත්වය නෑ. සිංහල පාසල්වල දෙමළ උගන්වන්නෙ නෑ. දෙමළ පාසල්වල සිංහල උගන්වන්නෙ නෑ. තුලනාත්මකව ආගම උගන්වන්නේ නෑ. එහෙම උගන්වන අධ්‍යාපනයක්‌ නැතිව කොහොමද සහජීවනයක්‌, නැත්නම් දේශපාලකයන් කියන ඔය සංහිඳියාවක්‌ ඇතිවෙන්නෙ?

ඔබ කියන්නෙ සහජීවනය ඇතිකරගැනීම සඳහා යන මේ ගමනේ ඇරඹුමම වැරදි බවද?

පාසල්වල භාෂා කිහිපයක්‌ උගන්වන්න ඕන. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලෙදි දෙමළ භාෂාවත් ඉගෙන ගත්ත. භාවිතය නැති නිසා කතාකරන්න බැරිවුණාට මට දෙමළ පොතක්‌ කියවල තේරුම් ගන්න පුළුවන්. අපි එක්‌ක හොඳට සිංහල කතාකරන දෙමළ ශිෂ්‍යයො එදා ආනන්ද විද්‍යාලෙ හිටියා. අපි අතර නිරායාසයෙන්ම සහජීවනයක්‌ ඇතිවුණා. එදා සිංහල අය උතුරෙ පදිංචි වුණේ, සිංහල දෙමළ ආවාහ විවාහ සිද්ධ වුණේ, දෙහිවල, බම්බලපිටියෙ, කොල්ලුපිටියෙ බර්ගර් සහ සිංහල ජාතීන් අතර ආවාහ විවාහ සිද්ධ වුණේ, මුස්‌ලිම් සහ සිංහල, මුස්‌ලිම් සහ දෙමළ ජාතීන් අතර ආවාහ විවාහ සිද්ධ වුණේ කාගෙවත් බලකිරීමකට නෙමෙයි. සමාජයක්‌ තුළ බලෙන් සහජීවනය ඇතිකරන්න බෑ. සමාජය තුළ එය ඉබේ ඇතිවිය යුතු දෙයක්‌.

අපේ රටේ මේ වැඩේට අද පෙරමුණ අරගෙන ඉන්නෙ දේශපාලකයො. රටේ යළි යුද්ධයක්‌ ඇති නොවෙන්න නම් ජනතාව ඉන්න ඕන මෙහෙමයි කියලයි ඔවුන් කියන්නෙ?

මැතිඇමැතිවරුන්ට හෝ ආර්ථික, සමාජ, දේශපාලන විද්වතුන්ට සමාජයක්‌ තුළ බලෙන් සංස්‌කෘතියක්‌ හදන්න බෑ. එයට සංස්‌කෘතිකවේදීන් මැදිහත් වෙන්න ඕන. අපේ රටේ දේශපාලකයො මේක අතට ගත්තට ඔවුන්ට ඒක කරන්න බෑ. රටක සාමකාමී සහජීවනයක්‌ ඇතිකරන්න පුළුවන් වෙන්නෙ සමාජය තුළ සංස්‌කෘතික අන්තර්ඥානයක්‌ ඇති කිරීමෙනුයි. ආවාහ විවාහවලදී, ශාස්‌ත්‍රීය කටයුතුවලදී, සමිති සමාගම් ආදී කටයුතුවලදී, අධ්‍යාපනයේදී, ව්‍යාපාරික කටයුතු කිරීමේදී සෑම ජාතිකයන් සහ ආගමිකයන් සමගම එකට කටයුතු කිරීමට අවශ්‍ය අවබෝධය සහ දැනුම ඇතිකිරීම දේශපාලකයන්ට කරන්න බෑ.

අපේ රටේ ජාතීන් අතර තිබිය යුතු යෑයි අද දේශපාලකයින් කියන සමගිය සහ සහජීවනය අපේ රටට අලුත් දෙයක්‌ නෙමෙයි. නමුත් අද ඒ ගැන අලුතින් කතා කරන්න සිද්ධවෙලා තිබෙනව?

එය ප්‍රධාන වශයෙන් අපි විසින් අපේ නියෝජිතයන් ලෙස පත් කරගන්නා දේශපාලකයන් ඊට සුදුස්‌සන් දැයි තීරණය කර ගැනීමට නොහැකිවීම නිසා ඇති වී තිබෙන තත්ත්වයක්‌. උදාහරණයක්‌ විදිහට මැද කොළඹ ආසනය ඉතා හොඳට තිබුණු කාලයක්‌ තිබුණ. සර් රසික්‌ µරීඩ්, එම්. එච්. මොහොමඩ්, අබ්දුල් කරීම් වැනි මහත්වරු එදා හිටියා. ෂන්මුගදාසන්, පීටර් කේනමන් වැනි නායකයො හිටියා. එදා දේශපාලනයේ තිබුණු තුලනාත්මක බව අද බිඳවැටිලා. දේශපාලනයේ තුලනාත්මක භාවය බිඳවැටෙන කොට මතුවෙන ප්‍රශ්නයකටයි අද අපි මේ මුහුණ දීල ඉන්නෙ.

අපට පුළුවන්නම් ධම්මපදය, බයිබලය, කුරානය සහ භගවත් ගීතාව උගන්වන්න අපට එතනින් පුළුවන් මේ සඳහා පදනමක්‌ හදාගන්න. රබීන්ද්‍රනාත් තාගෝර් ඔහුගේ ශාන්ති නිකේතනයේ රාගධාරී සංගීතය, වංග සංගීතය, බටහිර සංගීතය යන සියලු වර්ග ඉගැන්නුවා. ඒවගේම ඉන්දීය චිත්‍ර කලාව, බටහිර චිත්‍ර කලාව, පිකාසෝ වැන්නන්ගෙ අමූර්ත චිත්‍ර කලාව ඉගැන්නුවා. ගීතාංජලියේ කියන්නෙ ස්‌වාමීනි මාගේ දේශය අවදි කරනු මැන කියලයි. අපි වෙමු එක මවකගෙ දරුවො කියල සුනිල් සාන්තයන්, ආනන්ද සමරකෝනුන් කිව්වෙ ඒ ආභාසයෙන්. මේවා සමාජයක්‌ තුළ ඉබේ වැඩෙනවා මිස බලෙන් සමාජයකට ආරෝපනය කරන්න බෑ.

කොටහේනේ කැරැල්ල, වෙල්ලස්‌සේ කැරැල්ල, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමයේ ඇති වූ ප්‍රශ්න ආදිය දෙස බලන විට ඒවායේ වීරයො ඇතිවුණේ ජනතාව තුළින් නිරායාසයෙන්. මේ රටේ ඉපදුනු සිංහල බෞද්ධයකු, දෙමළ හින්දු ජාතිකයෙකු සහ මුස්‌ලිම් ජාතිකයෙකු සමගියෙන් ජීවත්වීමට නීති හදන්න බෑ. රටක ඇත්ත කතාකරන පුද්ගලයො හිරේ දාල ජාතීන් අතර සමගිය ඇතිකරන්න බෑ. එµa.සී.අයි.ඩී. තව ඇති කළත් රටේ අල්ලස්‌ දූෂණ නැති කරන්න බෑ. අල්ලස්‌ දූෂණ නැති කරන්න නම් සමාජය තුළ ඒ සඳහා පදනමක්‌ ඇතිකරන්න ඕන. දරුවන්ට නිසි අධ්‍යාපනයක්‌ නැති රටක, පුරවැසියන්ට සාධාරණ සමාජයක්‌ නැති රටක ජාතීන් අතර සහජීවනයක්‌ බලාපොරොත්තු වීම නිෂ්ඵලයි. ගොඩනැඟිල්ලක්‌ ගිලා බහිනවිට වහලය වෙනස්‌ කරල වැඩක්‌ නෑ. අත්තිවාරම ශක්‌තිමත් කළ යුතුයි.


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.