කුණු ප්‍රශ්නය කුණු කර වවාගෙන කන වසලයෝ

මේ රටේ බොහෝ ප්‍රශ්න "කුණු" වන්නට ඉඩ හරිනවා මිස ඒවා විසඳන්නට වගකිව යුත්තන් කිසිවෙක්‌ කලබල වන්නේ නැත. ඒතරමටම "ඉවසීමේ" ගුණය පුරුදු පුහුණු කළ මජර පාලකයන් පිරිසක්‌ අපට දායාදයක්‌ ලෙස ලැබී තිබේ. ඒ නිසාමදොa "කුණු" ප්‍රශ්නය ඕනෑවටත් වඩා "කුණු" වී මුළු කොළඹම ගඳ ගසන, අපවිත්‍ර කරන ලෙඩ රෝග බෝකරන මට්‌ටමට පත්ව තිබේ. පෙනෙන්නට තිබෙන්නේ කොළඹ වුවද රටේ බොහෝ ප්‍රදේශවල තත්ත්වය එකය. අප "ඩෙංගු" මර්දනය කරන්නට සැලසුම් හදන්නේ, වැඩමුළු තබන්නේ එවන් තත්ත්වයක්‌ යටතේය. කුණු ප්‍රශ්නය කෙතරම් "ජරා" තැනකට ගොස්‌ ඇත්දැයි කීවොත් දැන් ජනාධිපතිවරයාද, අගමැතිවරයාද ප්‍රශ්නයට මැදිහත්ව සිටිති. ඒ දෙදෙනාටම වෙන ප්‍රශ්න නැති නිසා අර්බුදයක්‌ නැත. එසේ වූයේ නම් බස්‌නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රියටත්, කොළඹ නාගරික කොමසාරිස්‌ වී. කේ. අනුරටත්, වගකිව යුතු සෙසු නිලධාරීන්ටත් සිදුවන්නේ වහ කන්නටය. රටේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මේ කාරණයට මැදිහත් වනතුරුම මේ සියලු දෙනා "බම්බු" ගැසුවා දැයි අසන්නට අප ඉක්‌මන් වන්නේ නැත. එහෙත් ජනාධිපතිවරයා, අගමැතිවරයා මේ ප්‍රශ්නයට අතගසන තුරුම වැඩේ කුණු කළ හැම කෙනෙක්‌ම තමන්ගේ "කොන්ද" පිළිබඳව තක්‌සේරුවකට වහාම පැමිණිය යුතුය. බ්ලූමැන්ඩල් කුණු කන්දට එරෙහිව ජනතා විරෝධයක්‌ පැන නගින විට ඊළඟට තෝරා ගත්තේ මීතොටමුල්ලය. මීතොටමුල්ල නාය ගොස්‌ මහ විනාශයක්‌ සිදුවන විට කුණු දමන්නට තෝරා ගත්තේ පුත්තලමය. තෝර, තෝරා ඉන්න එක හැරුණු විට මේ කිසිවකුටත් ප්‍රශ්නයට හරි විසඳුමක්‌ සොයන්නට වුවමනාවක්‌ නැත.

පසුගිය රජය සමයේ හමුදාව නගර අලංකරණ වැඩවලට යොදා ගන්නවා යෑයි කී උදවියම පසුගියදා කීවේ කුණු ඉවත් කිරීමට හමුදා සහාය ලබා ගන්නා බවය. එහෙත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියන්නේ කුණු ඉවත් කරන වැඩේ බාරගැනීම හමුදාවට කළ නොහැකි බවය. එහෙත් කුණු තිබෙන තැන් හඳුනාගෙන ඒවා ගැන අදාළ පාර්ශවයන් දැනුම්වත් කිරීම තමන්ට කළ හැකි බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා තිබේ. කුණු තිබෙන තැන් හඳුනා ගන්නට යුද හමුදාව අවශ්‍ය නැත. කුණු තිබෙන්නේ "සතුරු කඳවුරුවල" හෝ "තොප්පිගල" කැලයේ නොවේ. පසුගිය දිනවල ඇමැතිවරයාද පාරට බැස අපූරුවට කුණු තිබෙන තැන් සොයා ගත්තේය. මේවා තිබෙන තැන් අදාළ බලධාරීහු හොඳින්ම දනිති. එහෙත් ඒ කිසිවකුටත් ඒවා ඉවත් කිරීමේ සිහි කල්පනාවක්‌ (සැලසුම්) නැත. කසළ ප්‍රශ්නය කළමනාකරණය කරන්නේ කෙසේද, ප්‍රතිචක්‍රීකරණය කරන්නේ කෙලෙසද යන්න ගැන තවමත් නිසි වැඩපිළිවෙළක්‌ නැත. මේ හැම ප්‍රශ්නයකටම මුල එකය. කොළඹ නගරය ආශ්‍රිතව දිනකට කුණු මෙටි්‍රක්‌ ටොන් 1100 ක්‌ 1200 ක්‌ අතර ප්‍රමාණයක්‌ එක්‌ රොක්‌වේ. මීතොටමුල්ලට ගොඩ බෑවේ ටොන් 700 ක්‌ තරම් කුණු ප්‍රමාණයකි. දැන් මේ තැන් තැන්වල ගොඩගැසෙන්නේ ඒ කුණු ප්‍රමාණයි. මේ කුණු "ගොඩගැසීම" වෙනුවෙන් පමණක්‌ කොළඹ නගර සභාව මාසිකව කෝටි 14 කට ආසන්න මුදලක්‌ වැය කරයි. කුණු ඉවත් කිරීමේ ටෙන්ඩරය කොළඹ නගර සභාව විසින් වාර්ෂිකව පෞද්ගලික සමාගමකට බාරදීම කරනු ලැබ තිබිණි.

එහෙත් මෙවර එම ටෙන්ඩරය වසර හතරක කාලයකට එකවර ලබාදී තිබේ. ඒ වසරකට රුපියල් මිලියන 300 බැගින් වසර හතර සඳහා රුපියල් මිලියන 1200 කටය. මේ මුදල් සියල්ල එකතු කර කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්‌ථාන පිහිටුවූයේ නම් මෙතරම් මුදල් කන්දරාවක්‌ "කුණු ගොඩගසාගන්නට" වැය වන්නේ නැත. මේ හැම දෙයකින්ම අපට පෙනෙන්නේ කළමනාකරණය කරගත හැකි ප්‍රශ්නයක්‌ කවුරු කවුරුත් එක්‌ව වවාගෙන කන බවය. ටෙන්ඩරය දෙන්න තිබෙන හදිසිය කුණු ඉවත් කරන්නට නැත්තේ ඇයි දැයි අපි ප්‍රශ්න කරමු. අහල පහල පාරවල් ගාණේ කුණු ගොඩවල් ඇති කරන ජනතාවට අප කුණු ගෙන ගොස්‌ දැමීම සඳහා සුදුසු ස්‌ථාන දෙකක්‌ යෝජනා කරමු. එකක්‌ කොළඹ නගර සභාව ඉදිරිපිට ඇති පිට්‌ටනියයි. දෙවැන්න දියවන්නාව ඉදිරිපිට ඇති පිට්‌ටනියයි. ස්‌ථිර වශයෙන්ම කුණුගොඩ ඉවරය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.