ඩෙංගු එයි බී.ටී.අයි. දොයි

ඒමන්ති මාරඹේ

පවතින කඩින් කඩ වර්ෂාවත් සමඟම දිවයිනේ ප්‍රදේශ ගණනාවක මෙම දිනවල ඩෙංගු උණ වසංගත මට්‌ටමින් පැතිර යන අතර මේ වසරේ රෝගීන් 63,000 කට අධික සංඛ්‍යාවක්‌ මෙතෙක්‌ වාර්තාවී ඇති බවත් රෝගීන් 200 ක්‌ පමණ මියගොස්‌ ඇති බව අනාවරණය වී තිබේ.

ඩෙංගු උණ යනු සෑම වසරකදීම කඩින් කඩ වර්ෂාව පවතින කාලය තුළදී මෙරට ශීඝ්‍රයෙන් පැතිර යන වසංගත රෝගයකි. මෙය මේ වන විට මිනිසා විසින් තැනූ වසංගත තත්ත්වයක්‌ බවට පත්ව ඇත්තේ මිනිසාගේ නොසැලකිලිමත් කමින් මහමග ඉවතලන තැඹිලි පොල් කෝම්බ, හිස්‌ ටින්, හිස්‌ යෝගට්‌, අයිස්‌ ක්‍රීම් කෝප්ප, රඹුටන්, මැංගුස්‌ටින් ලෙලිවල එකතු වන වැසි ජලයෙහි ඩෙංගු උණ පැතිරීමට හේතුවන ඩෙංගු මදුරු කීටයන් බිහිවීම නිසාය.

මෙම රෝගය මිනිසා විසින්ම තම පරිසරය ශුද්ධ පවිත්‍රව තබා ගැනීමෙන් පාලනය කරගත යුතු රෝගයකි. එහෙත් අවාසනාවකට මෙන් පසුගිය කාලයේ මෙරට සිදුවූ යම් යම් අවාසනාවන්ත සිදුවීම්ද ඩෙංගු මෙරට වසංගත මට්‌ටමින් හිස එසවීමට හේතුවී තිබේ. මෙම සිදුවීම් වනුයේ මීතොටමුල්ල කසළ කන්දෙන් කොටසක්‌ කඩා වැටීමත් ප්‍රදේශ කිහිපයකට බලපෑ මහා ගං වතුර තත්ත්වයත්ය. මීතොටමුල්ලේ කසළ කන්දෙන් කොටසක්‌ කඩා වැටීමෙන් පසු මෙතෙක්‌ ප්‍රදේශවාසීන්ගේ විරෝධය නොතකා එම ස්‌ථානයටම කොළඹ නගරයේ එකතුවන කසළ බැහැර කරමින් සිටි නගර සභා බලධාරීන්ට කසළ යෙදීමට තැනක්‌ නොවීය. එහි ප්‍රතිඵලය වූයේ වෙනදා සතියකට කිහිප වරක්‌ නිවෙස්‌ හා ආයතනවලින් බැහැරකරනු ලබන කසළ ඉවත් කිරීමට පෙළඹුණු පළාත් පාලන ආයතනයන් කසළ දැමීමට ස්‌ථානයක්‌ නොතිබීමෙන් එකතුවන කසළ ඉවත් නොකර සිටීමයි.

මෙයින් සිදුවූයේ කොළඹ නගරය තුළ නිවෙස්‌ හා ආයතන ඉදිරිපිට කසළ බෑග්වලින් කඳු සෑදීමය.

මෙම කසළ බෑග් සතුන් විසින් ඉරා දැමීමෙන් පසු එළියට පැමිණි හිස්‌ ටින්, පොලිතින් ඇතුළු ද්‍රව්‍යවල වැසි ජලය එක්‌රැස්‌ වී ඩෙංගු මදුරු කීටයින් බෝවීමත් ඒ හරහා ඩෙංගු රෝගය පැතිරීමත් මේ වන විට සිදුවෙමින් පවතී.

අනෙක්‌ අතට පැවැති ගං වතුර තත්ත්වය බැස ගිය පසු එම ප්‍රදේශවල ජලය රැඳෙන ස්‌ථාන හා යටවී තිබූ ළිං වල බිත්තිද ඩෙංගු මදුරු කීටයින් බෝ කරන ආකර බවට පත්ව තිබේ.

මෙම තත්ත්වය මත ඩෙංගු වසංගත මට්‌ටමින් පැතිර යැම ගැන එතරම් පුදුම විය යුතු නොවේ. මෙරට ඇතැමුන්ට ඩෙංගු වසංගතයෙහි ඇති බරපතලකම වැටහෙනුයේ එක්‌කෝ ඒ අයට නැතිනම් තම පවුලේ සාමාජිකයෙකුට හෝ හිතවතෙකුට ඩෙංගු රෝගය වැළඳුණු විටදීය. එතෙක්‌ වෙනත් අයට රෝගය වැළඳුනද ඔවුනට එය ගණනක්‌වත් නොමැත. අන් අයව තඹ දොයිතුවකට මායිම් නොකරමින් අක්‍රමවත් ලෙස කසළ බැහැර කරන්නේත්, තම ගෙවත්ත හා මහා මාර්ගය අසල ඩෙංගු මදුරුවන් බෝවන අයුරින් පරිසරය පවත්වාගෙන යන්නේත් මෙසේ තමන් ගැන පමණක්‌ සිතන අවස්‌ථාවාදීන්ය.

මෙසේ සිදුකරනු ලබන අක්‍රමවත් ක්‍රියාවන් මත අවසානයේදී ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවනුයේ මිනිසුන්ටමය. මෙවැනි අවස්‌ථාවන් ගණනාවක්‌ දිනපතා මෙරට සිදුවෙමින් පවතින අතර ඩෙංගු රෝගය මර්දනය කිරීමට නම් රෝගය පැතිරීමට හේතුකාරක වන ඩෙංගු මදුරුවන් බෝකරන අයට එරෙහිව දැඩි පියවර ගත යුතුව තිබේ.

අප විසින් බොහෝ අවස්‌ථාවලදී පෙන්වාදී ඇති පරිදි දැනට ඩෙංගු මර්දනය සඳහා රට තුළ සිදුකෙරෙන ක්‍රියාකාරකම් හුදෙක්‌ දැඩි නීති රීති මැද සිදුනොවීම නිසා එම ක්‍රියාකාරකම් ජනතාව ඩෙංගු මර්දනයට පොළඹවන ඒවා නොවී තිබේ.

කියුබාවේ ඩෙංගු මර්දනය සිදුකරනු ලැබුයේ දැඩි නීති රීති හා දීර්ඝ කාලීන වූ මදුරු මර්දන වැඩපිළිවෙළක්‌ හරහාය.

ඒ අනුව තම නිවෙස්‌ හා ආයතනවල ඩෙංගු මදුරුවන් බෝවන පරිසරයක්‌ පවත්වාගෙන යන්නන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක විය.

ක්‍රමානුකූලව කටයුතු කරමින් අවසානයේදී ඩෙංගු වසංගතය තුරන් කිරීමට කියුබානු බලධාරීන්ට හැකි විය. අවාසනාවකට අප රටේ සෞඛ්‍ය බලධාරීන්ට තවමත් මෙසේ දැඩි නීති මගින් ඩෙංගු මර්දන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකිවී නැත.

ඩෙංගු මදුරු කීටයන් විනාශ කළ හැකි බව පවසන බැක්‌ටීරියාවන් පසුපස ඇතැම් සෞඛ්‍ය බලධාරීන් තවමත් එක හැල්මේ දිව යනු දක්‌නට ලැබේ. එදා කියුබානු නිෂ්පාදනයක්‌ වන "බීටීඅයි" නමැති ඩෙංගු මදුරුවන් විනාශ කිරීම සඳහා භාවිත කරන බැක්‌ටීරියාව මෙරටට ගෙන ඒමට දේශපාලකයින් ඇතුළු නිලධාරීන් පිsරිසක්‌ දැඩි උත්සාහයක නිරතවූ අතර එම බැක්‌ටීරියාව අවසානයේ නැව් මාර්ගයෙන් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගැණිනි. මෙම බැක්‌ටීරියාව ගෙන්වීමට පෙර එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිටි පසුව අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස පත්වූ වෛද්‍ය නිලධාරිවරයෙකු ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් බී.ටී.අයි බැක්‌ටීරියාව පිළිබඳව සොයා බැලීමට කියුබාව බලා පිටත්ව ගියහ. එම පිරිස මෙරට පැමිණි පසු තමන් සිය කියුබානු සංචාරයේදී ලද අත්දැකීම් පිළිබඳ වාර්තාවක්‌ ලබාදුන් බවට කිසිදු සඳහනක්‌ නැත.

මෙවැනි වාතාවරණයක්‌ යටතේ "බීටීඅයි" බැක්‌ටීරියාව මෙරටට ගෙන්වා උත්සව පවත්වා එම බැක්‌ටීරියාව නියාමන ව්‍යාපෘතියක්‌ යටතේ ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්‌ථානවලට යෙදවුවද එය දිගටම පවත්වාගෙන යාමට බලධාරීහු අසමත් වූහ.

එම බැක්‌ටීරියාව ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථානවලට යෙදීමෙන් පසු එම බැක්‌ටීරියාව හරහා මදුරු කීටයන් මර්දනය වීම පිළිබඳව අධීක්‍ෂණය කළ යුතු වුවද එවැනි අධීක්‍ෂණ කණ්‌ඩායමක්‌ බැක්‌ටීරියාව යෙදීමට පෙර පිහිටුවීමට රජය අපොහොසත් විය. බීටීඅයි බැක්‌ටීරියාවෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වුණේ ඒ නිසාය. ඒ සමඟම බීටීඅයි ව්‍යාපෘතියද නතර විය.

අදටත් මෙසේ විශාල මුදලක්‌ නාස්‌ති කරමින් ගෙන්වන ලද බීටීඅයි බැක්‌ටීරියාවට සිදුවූ දෙයක්‌ දැන ගන්නට නැත.

ලංකාවේ ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් මෙවැනි අක්‍රමවත් සැලසුම් පවතිද්දී ඔස්‌ටේ්‍රලියාවේ නිපදවූ ඩෙංගු මදුරු කීටයින් විනාශ කළ හැකි තවත් බැක්‌ටීරියාවක්‌ මෙරටට ගෙන්වීමට අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

කෘෂිකාර්මික කටයුතු සඳහාද යොදාගත හැකි මෙම බැක්‌ටීරියාව ඔස්‌ටේ්‍රලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්‌ විසින් මෙරටට සුදුසුදැයි අධ්‍යයනය කළ පසු එය ගෙන්වන බවට ප්‍රකාශ වී තිබේ. එවැනි බැක්‌ටීරියාවක්‌ මෙරට ඩෙංගු මර්දන වැඩපිළිවෙළට යොදා ගැනීමට පෙර එම බැක්‌ටීරියා යොදවා සාර්ථක ප්‍රතිඵල ගත හැකි ආකාරයේ ඒ සඳහාම පුහුණු කළ නිලධාරීන් කණ්‌ඩායමක්‌ පත් කිරීම අත්‍යවශ්‍යය. එසේ නොමැතිව බීටීඅයි මෙන් එම බැක්‌ටීරියාවටද සිදුවනුයේ බැක්‌ටීරියාව සඳහා වැය වන මුදල අපතේ යාම පමණකි.

මෙරට සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්දනය කිරීමට නම් සැබැවින්ම අවශ්‍ය වනුයේ ඩෙංගු මදුරුවන් බෝවීමට මග පාදන අයුරින් කටයුතු කරන්නන්ට එරෙහිව දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමය.

එමෙන්ම ජනතාවගේ සහායෙන් වසර පුරා ක්‍රියාත්මක වන අඛණ්‌ඩ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක්‌ දියත් කිරීමත්, ඩෙංගු මදුරුවන් බෝවන ස්‌ථාන පිරික්‌සීමේදී අතුරු මාර්ගවල පවතින නිවාස හා ආයතනද පිරික්‌සීමට ලක්‌ කර අවශ්‍ය පියවර ගැනීමත් සිදුකළ යුතුය. ඇතැම් පළාත් පාලන ආයතනයන් අතුරු මාර්ගවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක නොකිරීම නිසා එම මාර්ග මේ වන විට ඩෙංගු ඇතුළු සෙසු රෝග කාරක මදුරුවන්ගේ පාරාදීස බවට පත්ව තිබෙනු දක්‌නට ලැබෙන්නකි.

මෙම තත්ත්වය මග හරමින් රටට ගැළපෙන ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කර මේ ව්‍යසනයෙන් රට මුදා ගැනීම සෞඛ්‍ය බලධාරීන් සතු වගකීමකි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.