පොලිතින් ප්ලාස්‌ටික්‌ ප්‍රශ්නයට
විසඳුම ප්‍රතිචක්‍රීයකරණයයි
ඒ ගැන කතා නොකර රජය පොලිතින් ප්ලාස්‌ටික්‌ තහනම් කිරීම
හා ගණකම වැඩි කිරීම ප්‍රශ්නයට විසඳුම නොවේ


පොලිතින් නිෂ්පාදකයන්ගේ සහ ප්‍රතිචක්‍රීයකරණය කරන්නන්ගේ සංගමය කියයි

රටේ කසළ අර්බුදයට විසඳුම කසළ ගොඩවලට එකතු වන පොලිතින් ප්ලාස්‌ටික්‌ සඳහා ප්‍රතිචක්‍රීයකරණ ක්‍රමවේදයට අවශ්‍ය පහසුකම් සලසාදීම මිස පොලිතින් ප්ලාස්‌ටික්‌ තහනම් කිරීම හෝ බදු බර වැඩි කිරීම නොවන බව සමස්‌ථ ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ හා ප්‍රතිචක්‍රීයකරණය කරන්නන්ගේ සංගමය කියා සිටී.

එම සංගමය මගින් පසුගියදා රජයේ විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් කතා කළ සංගමයේ සාමාජිකයන් කියා සිටියේ 'ලන්ච් ෂීට්‌ස්‌' තහනම් කිරීමට හා (ග්‍රොසරි බෑග්) පොලිතින්වල ඝණකම මයික්‍රෝන 20 සිට 40 දක්‌වා වැඩි කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය ගෙන ඇති තීන්දුව කිසිදු ආර්ථික ප්‍රතිලාභයක්‌ අත් නොවන හා පරිසර දූෂණය වැඩි කිරීමට ඉවහල් වන අසාර්ථක උත්සාහයක්‌ බවයි.

සංගමයේ සභාපති අනුර විඡේතුංග මහතා අදහස්‌ දක්‌වමින් මෙහිදී කියා සිටියේ,

"මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විසින් ඉකුත්දා රූපවාහිනි සාකච්ඡාවකදී කියා සිටියා කෑම එතීම සඳහා ගනු ලබන ලන්ච් ෂීට්‌ස්‌ සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට හා ග්‍රොසරි බෑග් ඇතුළු ආහාර දවටන යනාදිය සඳහා භාවිතයට ගන්නා පොලිතින්වල ගණකම දැන් පවතින මයික්‍රෝන 20 සිට 40 දක්‌වා වැඩි කරන බවට. මෙය කිසිසේත් ප්‍රායෝගික නොවන, ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් පාඩුදායක, වැඩි වැඩියෙන් රටේ මුදල් පිටරටට ඇදී යන, පරිසර දූෂණ දැන් තියෙනවා වගේ දෙගුණයකින් වැඩි කරන තීන්දුවක්‌. මේ සඳහා වන කැබිනට්‌ පත්‍රිකාව ළඟදීම ඉදිරිපත් කරන බවත් සභාපතිවරයා ප්‍රකාශ කළා. අප කියන්නේ එම ප්‍රකාශය හා තීන්දුව අමනෝඥ තීන්දුවක්‌ කියලයි. මේ වගේ තීන්දු ගන්නකොට අපි වගේ රටේ පොලිතීන්, ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන හා ප්‍රතිචක්‍රීයකරණ සමාගම්වලත් අදහස ලබාගන්න ඕන. නමුත් මේ සම්බන්ධව අපට කිසිවක්‌ දන්වල නැහැ. අවස්‌ථාවකදී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා එක්‌ක සාකච්ඡාවක්‌ පැවැත්වුවත් ඔහු අපගේ අදහස්‌ ගණන් ගත්තේ නැහැ. ඒකපාක්‍ෂිකවම පොලිතින් වර්ග තහනමටත් ගණකම වැඩි කිරීමටත් තීන්දුවක්‌ අරගෙන."

"පොලිතින් ප්ලාස්‌ටික්‌ අද ලෝකයට නැතුවම බැරි සම්පතක්‌. සැහැල්ලු බව, මිල අඩුකම, කාර්යක්‍ෂම බව, භාවිතයේ පහසුව වගේ බොහොමයක්‌ කරුණු නිසා පොලිතින් ප්ලාස්‌ටික්‌ භාවිතය පහසුයි. ප්‍රායෝගිකයි. ඒක සම්පතක්‌. නමුත් එය කසළ වශයෙන් පරිසර ප්‍රශ්න ඇති කරන එකත් ඇත්තයි. ඒකට හේතුව මේ සඳහා හරිහැටි බැහැර කිරීමේ වැඩසටහනක්‌ රජය මැදිහත්වෙලා සිදු නොකරන එකයි. කසළ ගොඩවල පොලිතින්, ප්ලාස්‌ටික්‌ මොන තරම් තිබුණත්, අපිට ඒවා වෙන් කරලා ගන්න විදිහක්‌ නැහැ. වෙන්කරලා දෙනවා නම් මේ පොලිතින් ප්ලාස්‌ටික්‌ මුදල් ගෙවල ප්‍රතිචක්‍රීයකරණයට අපි ගන්න කැමතියි. අපි සූදානම්. නමුත් රජය ඒ වගකීම ඉටුකරන්නේ නැහැ. අපිට ඕන තරම් පොලිතින් ප්ලාස්‌ටික්‌ ප්‍රතිචක්‍රීයකරණය කරන්න පුළුවන්. විසඳුම ඇත්තේ ප්‍රතිචක්‍රීයකරණ කිරීම තුළමයි. ඒ නැතිව තහනම් කිරීම හෝ ගණකම හා මිල වැඩිකිරීම ප්‍රශ්නයට විසඳුම නොවේ" යෑයි සංගමයේ ලේකම් අනුර හේරත් මහතා සඳහන් කළේය.

කොහොම වුණත් පොලිතින් ප්ලාස්‌ටික්‌ සම්බන්ධව මෙහෙම තීන්දු තීරණ ගන්නකොට කර්මාන්තකරුවන් හැටියට සහ ප්‍රතිචක්‍රීයකරණය කරන්නන් හැටියට ක්‍රියාත්මක වන අපගෙන් විමසීමක්‌ කරන්න තිබුණා. එය සිදුව නැහැ.

අනෙක්‌ කාරණය තමයි මධ්‍යම පරිසර අධිකාරිය කියනවා පොලිතින් ප්ලාස්‌ටික්‌වලට ගෙන ඇති මේ තීන්දු තීරණ සඳහා වෙනස්‌ වෙන්න කර්මාන්තකරුවන්ට සාධාරණ කාලයක්‌ දීල කියනවා කියන එක. අපි ඉතා වගකීමෙන් කියනවා අපි කර්මාන්තකරුවන් හැටියට මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි වී සිටින, නීත්‍යානුකූල, නීතිගරුක කර්මාන්තකරුවන්. නමුත් අද තව වනතුරු අපට ලිතව දැනුම්දීමක්‌ කරල නැහැ මේ සම්බන්ධයෙන් යෑයි ද අනුර හේරත් මහතා පවසයි.

දිනකට ලන්ච් ෂීට්‌ මිලියන 15 ක්‌ රටේ භාවිත වන බව ජෛව විවිධත්ව අධ්‍යාපන ආයතනය කරන ලද සමීක්‍ෂණයක දැක්‌වෙනවා. එහෙනම් තේරෙනවා මේක අත්‍යාවශ්‍ය දෙයක්‌ බවට පත්වෙලා තිබෙන බව. මේ සඳහා විකල්පයකුත් නැතිව එක රැයකින් තහනම් වෙනකොට රටේ මිනිස්‌සුන්ට මොන තරම් අපහසුතාවයක්‌ වේවිද? අපිටත් දැඩි බලපෑමක්‌ සිදුවෙනවා. ඒ නිසා අපගේ මතය විකල්පයක්‌ නොදී ලන්ච් ෂීට්‌ස්‌ තහනම ප්‍රායෝගික නැහැ. අපිට ඒකට විකල්පයක්‌ තියෙනවා. ඒ තමයි දිරන පොලිතින්වලින් නිපදවන ලන්ච ෂීට්‌ස්‌. අවුරුදු 1-5 ත් අතර කාලයේදී මේ ලන්ච් ෂීට්‌ස්‌ සම්පූර්ණයෙන්ම දිරනවා. මේ හැකියාව අපට තියෙනවා. එහෙම නම් අපි කියන්නෙ ඒ සඳහා මයික්‍රෝන 20 නීතිය ඉවත් කරන්න කියන එක. 2006 දී මේ මයික්‍රෝන 20 නීතිය ආවා. එය අදටත් ක්‍රියාත්මකයි. ඒත් ඇතැමුන් මයික්‍රෝන 5-20 දක්‌වා හොරෙන් තුනී පොලිතින් නිපදවනවා. මධ්‍යම පරිසර අධිකාරිය ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. හැම නීතියම නීත්‍යානුකූලව ලියාපදිංචි වී කර්මාන්තය කරන අපිට විතරයි. මයික්‍රොන 20 නීතිය ඉවත් කර දෙන්න. අපි දිරායන පොලිතින් නිපදවා පෙන්වන්නම්" යෑයි ද ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

දිරායන ලන්ච් ෂීට්‌ස්‌ සඳහා මයික්‍රෝන 20 නීතියෙන් ඉවත් කරන්නේ නම් ඉතා අඩු මිලට දිරායන ලන්ච් ෂීට්‌ස්‌ වෙළෙඳපළට නිකුත් කළ හැකි බව ද මෙහිදී අනාවරණය කෙරිණි. පොලිතින් ප්ලාස්‌ටික්‌ සම්බන්ධයෙන් නීතිරීති සහ තහංචි ගත යුත්තේ ඉතා හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසුව යෑයි ද සංගමය මෙහිදී ඉල්ලා සිටියේය.

වසරකදී ශ්‍රී ලාංකිකයකු පොලිතින් කිලෝග්‍රෑම් 7-8 ක්‌ භාවිත කරන බව ද, එම පොලිතින් අවසන් බැහැර කරලීම සඳහා නීතිරීති සහ ප්‍රතිචක්‍රීයකරණ පුරුදු තිබිය යුතු බව ද කියා සිටි සංගමය වැඩිදුරටත් පැවසුවේ පොලිතින් ප්‍රශ්නයට විසඳුම ප්‍රතිචක්‍රීයකරණය මිස, භාවිතය අවම කිරීමට යෑයි කියා ඒවායේ මිල වැඩි කිරීම හා තහනම් කිරීම නොවන බවද, එසේ වන්නේ නම් පාරිසරික හා මුදල් හානිය දෙගුණ වන බව ද ඔවුන් පවසති. ඇමෙරිකානු පුද්ගලයකු වාර්ෂිකව පොලිතින් කිලෝග්‍රෑම් 69-70 ක්‌ භාවිත කළත් එම රටවල කසළ කළමනාකරණයට ඇති දැක්‌ම හා වැඩපිළිවෙළ මගින් පොලිතින් ප්ලාස්‌ටික්‌ ප්‍රශ්නයක්‌ කරගෙන නැතැයි ද, අප එම තත්ත්වය ආදර්ශයට ගතයුතු බව ද සංගමයේ සංවිධායක රෝහිත රන්සිරි මහතා මෙහිදී පැවසීය.

ජගත්

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.