කීත් නොයාර් පැහැර ගැනීම:
බුද්ධි අංශ 6 දෙනාට
ඇපදීම අදට කල් යයි

සරත් ධර්මසේන

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස්‌ අමානුෂික ලෙස පහර දුන් බවට සැකකර රක්‍ෂිත සිර භාරයට පත් කර සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන් 06 දෙනාට ඇප දීමේ නියෝගය නිකුත් කිරීම කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා විසින් අද (20 වැනිදා) ට කල් තබන ලදී.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා දරන ස්‌ථාවරය උසාවියට දන්වන තෙක්‌ එම නියෝගය නිකුත් කිරීම ඊයේ (19 දා) දක්‌වා කල් තබා තිබිණි. එහෙත් නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා කියා සිටියේ නීතිපතිවරයා හමුවීමට තමාට අවශ්‍යතාවක්‌ නොලැබුණ බවයි. ඒ සඳහා තවත් කාලයක්‌ ලබා දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

විනිසුරු වරයා විසින් ඇප නියෝගය දීම අදට කල් තැබුවේ ඉන් අනතුරුවයි.

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය ගැන පරීක්‍ෂණ පවත්වන සංවිධානාත්මක මංකොල්ල පරීක්‍ෂණ අංශයේ ප්‍රධානි ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතා ඊයේ උසාවියට පැමිණ සිටි අතර විනිසුරුවරයා විසින් කරන ලද විමසුමකට පිළිතුරු දෙමින් ඔහු දන්වා සිටියේ සැකකරුවන්ට ඇප දෙනවාට රහස්‌ පොලිසියේ විරුද්ධත්වයක්‌ නැති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවෙන හමුදා නිලධාරීන් වන්නේ සීවලී බුලත්වත්ත, හේමචන්ද්‍ර පෙරේරා, ප්‍රභාත් දුමින්ද වීරරත්න, ලසන්ත විමලවීර, නිශාන්ත පියතිලක, නිශාන්ත කුමාර චන්ද්‍රනාත් ජයසූරිය යන 6 දෙනායි.

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා සමග රංදීප විඡේසූරිය, තරංග සේමසිංහ, ධම්මිකා මොණරවිල යන නීතීඥවරු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටිති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.