මේ පුංචි පවුල රැකගන්න ඔබේ පිහිට ඕනෑ

වරකාපොළ අතිරේක - වසන්ත කුමාර මාපා, වරකාපොළ විශේෂ - සරත් ආනන්ද

දෙමාපිය ආදරය සෙනෙහස අහිමිව කිරිඅම්මාගේ ආදරය හා රැකවරණය යටතේ ආර්ථික අපහසුතා රැසක්‌ මධ්‍යයේ පුංචි පැල්පතක ජීවත්වන දරු දෙදෙනෙක්‌ පිළිබඳව තොරතුරු සැලවී පසුගියදා අපි ඔවුන් සොයා ගියෙමු.

වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ දුෂ්කර ගම්මානයක්‌ වන වේරගල ගම්මානයේ ඉටිකවරවලින් වටකළ පුංචි නිවසක ආච්චිඅම්මා සමඟ දුෂ්කරව කල්ගෙවන මේ දරුවන් දෙදෙනාගේ පියා 2011 වර්ෂයේදී ගසක්‌ කැපීමට ගොස්‌ විදුලිසර වැදී මියගොස්‌ ඇත. පියාගේ අවාසනාවන්ත මරණයෙන් පසුව මව දරුවන් දෙදෙනාව ආච්චිඅම්මා භාරයට දී වෙනත් විවාහයක්‌ කරගෙන ප්‍රදේශයෙන් පිටව ගොසිනි.

දරුවන් දෙදෙනාම පාසල් යන වයසේය. කොපමණ ආර්ථික අපහසුතා පැවතිය ද දරුවන් දෙදෙනාට ඉගැන්වීමට ආච්චිඅම්මා ලොකු වෙහෙසක්‌ දරයි. දියණියගේ වයස අවුරුදු 11 කි. ඇය 06 ශේ්‍රණියේ අධ්‍යාපනය ලබන අතර, බාල දරුවාගේ වයස අවුරුදු 05 කි. ඔහු 1 ශේ්‍රණියේ අධ්‍යාපනය ලබයි.

දරුවන් දෙදෙනාගේ සියලු අවශ්‍යතා සපුරාලන්නේ ආච්චිඅම්මා විසිනි. මොවුන්ට කිසිදු ආදායම් මාර්ගයක්‌ නොමැත. එකම ආදායම් මාර්ගය රුපියල් 1200/} වටිනා සමෘද්ධි සහනාධාරය හා රුපියල් 2000/} වන වැඩිහිටි දීමනාව පමණි.

පදිංචි නිවස ඉතා අනාරක්‌ෂිතය. වහල ටකරන් තහඩු වසා ඇත. එහිදී ප්‍රදේශවාසීන්ගේ පරිත්‍යාගයෙන් නිවසේ බිත්ති සඳහා ඉටිරෙදි ගසා අසුරාගෙන ඇත. කිරිඅම්මාගේ සිත ශක්‌තිමත් වුව ද ගත වයෝවෘද්ධය. මේ නිසාම කුලියක්‌ කර ගැනීමට ද අපහසුය. රජයෙන් ලැබෙන සොච්චම් මුදලින් කෑම බීම හා දරුවන් දෙදෙනාගේ ඇඳුම් පැළඳුම් හා අධ්‍යාපන කටයුතු සඳහා යොදාගනියිs.

පරිවාස කාර්යාලය මඟින් දරුවන් සඳහා අධ්‍යාපන ආධාර ලබාදී ඇතත් මේ වන විට එම ආධාරය නවතා දමා ඇති බව හාමිනෝනා මහත්මිය අප සමඟ පැවසුවාය. ආර්ථික අපහසුතා මධ්‍යයේ පුංචි පැල්පතක ජීවත්වන මොවුන්ට එතරම් ලොකු බලාපොරොත්තු ද නොමැත. ඔවුන්ගේ එකම ඉල්ලීම නිදහසේ ජීවත්වීමට සුරක්‌ෂිත නිවහනක්‌ හා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ද සාර්ථකව කරගෙන යැමට අත්වැලකි.

මෙම අහිංසක පවුල සඳහා අතදීමට යම් පුද්ගලයකු හෝ සංවිධානයක්‌ වේ නම් වේරගල වසමේ ග්‍රාම නිලධාරි එස්‌. බී. යූ. එස්‌. පතිරණ මහතා වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින අතර ඔහුගේ දුරකථන අංකය 071-3410553 වේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.