ඉන්දියාවේ විනාශකාරයා වූ ෆාකර්
අන්තිම මොහොතේ තරගයට ගිහින්


අසේල විතාන ලන්ඩන් නුවර සිට

අවසන් තරගයේ වීරයා වෙමින් ඉන්දියාව පරාජයට ඇද දැමීමේ පිති ප්‍රහාරයක්‌ දියත් කළ 27 හැවිරිදි ෆාකාර් සාමාන් තරගයට ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයකට පැමිණියේ තරගය දවසේ පාන්දර බව සඳහන් කරයි. තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පවසා සිටියේය.

අසනීපයෙන් පසුවූ ෆාකාර්ව සිය පුහුණුකරුවා සහ භෞතචිකිත්සකවරයා හොඳින් බලාගත් බවත් ඔහු එහිදී සඳහන් කර සිටියේය.

zමට පුහුණුකරුවා කිව්වා තරගයට පෙර දිනයේ ඔයා අද පුහුණුවෙන්න ඕන නැහැ හොඳ තත්ත්වයක ඉන්නවා කියලා. එහෙම කියලා මම පන්දු 10 කට විතර තමයි ගැහැව්වෙ. පස්‌සෙ මම ක්‍රීඩා විවේකාගාරයට ගියා. එතනදි මම භෞතචිකිත්සකට කිව්වා මට හොඳක්‌ දැනෙන්නෙ නැහැ කියලා. මට තරගයත් ක්‍රීඩා කරන්න බැරි වේවි කිව්වා. ඊට පස්‌සෙ හෝටලයට ගියාම මට අපේ භෞතචිකිත්සකයා හොඳට සැලකුවා. ඔහු මට ප්‍රොaටීන් සහ ග්ලුකෝස්‌ පෙති ලබා දුන්නා.'' යෑයි ෆාකාර් පවසා සිටියි.

ලකුණු අතර සිටින නවක ක්‍රීඩක ෆාකාර්ගේ තරගයට සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයක පසුවුවද ඔහු තරගය දිනයේ උදෑසන ඇඳෙන් නැගිටින විට සම්පූර්ණ සුවය ලබා තිබුණි. අනතුරුව ඔහු තරගය නිමා කළේ සිය මංගල ශතකයද සටහන් කරමිනි.

"කොහොම හරි මම නිදාගෙන උදේ 7.00 ට ඇහැරුණා. එවලේ මම පණිවිඩයක්‌ යෑව්වා භෞතචිකිත්සකට මම හොඳින් ඔයාට ස්‌තුතියි කියලා." මේ වන විටත් එක්‌ දින තරග හතරකදී ශතකයක්‌ සහ අර්ධ ශතක තුනක්‌ සමග මුලූ ලකුණු 223 ක්‌ ලබා සිටින ෆාකාර්ගේ ඉනිමක සාමාන්‍ය 63.00 ක්‌ ලෙස සටහන් වේ.

"ඇත්තටම ආරම්භයේදී මගේ උඩපන්දුවක්‌ අතහැරියා. ඒක මගේ වාසනාවට තමයි එහෙම වුණේ. ඉන්දියානු පන්දු යවන්නන් මුලින් හොඳට පන්දු යවමින් හිටියේ. ඒ වෙලාවෙ කඩුලු නොදී සිටීමට තමයි මා උත්සහ කළේ. යෑයි ෆාකාර් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

විරාට්‌ කෝලිගේ උඩපන්දුව අතහැරීමෙන් ලොකු කනගාටුවකට කණ්‌ඩායම පත් වූ බවද ෆාකාර් සඳහන් කර සිටියේය. "මොකද කෝලි කියන්නෙ ලෝකයේ ඉන්න හොඳම පිතිකරුවා. ඔහුගේ උඩපන්දුවක්‌ අතහැරියාම ඊළඟට එයාට දෙසීයක්‌ වුණත් ගහන්න පුළුවන්. නමුත් ඊළඟ පන්දුවෙන්ම කෝලි දැවී ගියාම ලොකු සහනයක්‌ අපි හැමෝටම දැනුනා. කොහොම වුණත් අමීර් කියන්නෙ හොඳම පන්දු යවන්නෙක්‌. ඒ නිසා තමයි එහෙම කරන්න පුළුවන් වුණේ.

27 හැවිරිදි ෆාකාර් සාමාන් පළමු පෙළ තරග 35 කදී ශතක පහක්‌ සහ අර්ධ ශතක 13 ක්‌ සමඟ ලකුණු 3652 ක්‌ ලබා ඇති අතර එහි ඉනිමක සාමාන්‍ය 42.01 ක්‌ ලෙස සටහන් වේ. ඔහු පළමු පෙළ එක්‌දින තරග 35 කදී ශතක හතක්‌ සහ අර්ධ ශතක 18 ක්‌ ලබා ඇති අතර එහි ඉනිමක සාමාන්‍ය 51.48 ක්‌ වැනි ඉහළ අගයක්‌ ගැනීම හේතුවෙන් පකිස්‌තාන් ජාතික පිළ නියෝජනය කිරීමට වරම් ලැබීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.