දිග් විජය කරන්නට පෙර නික්‌ම ගිය කුමරුවා -16 කොටස
ඊළඟ ජනාධිපති විජය... ඡේ. ආර්. ගෙන් අනාවැකියක්‌...

ඡේ. ආර්. තුන්වැනි යාමයට සැරසෙයි

වාමාංශික එකමුතුවේ ජනාධිපති අපේක්‌ෂකයා ලෙස විජය කුමාරතුංග ඉදිරිපත් වන්නේ නම් තමන්ට තුන්වැනි වතාවටත් ජනාධිපති පුටුවේ වාඩිවිය හැකි බවට ඡේ. ආර්. ජයවර්ධන ගණන් හදා තිබුණා විය හැකිය. ශ්‍රීලනිපය ප්‍රමුඛ විපක්‌ෂය වෙනුවෙන් සිරිමාවෝ බණ්‌ඩාරනායක හෝ පොදු අපේක්‌ෂකයකු ද වාමාංශික එකමුතුවෙන් විජය ද ඡන්දයට ඉදිරිපත් වුවහොත් විපක්‌ෂයේ ඡන්ද ගොඩ කැඩී යැමෙන් තමන්ට පහසු ජයක්‌ අත්කරගත හැකි බව ජනාධිපති ජයවර්ධනගේ කල්පනාව විය. සිරිමාවෝට එරෙහිව ඇයගේ බෑණා තරග බිමට පිවිසීම ඡේ. ආර්. ගේ දේශපාලන සිහිනයක්‌ව තිබෙන්නට ඇත. තම ප්‍රතිවාදියාට ඒ තරම් රිදවිය හැකි යමක්‌ ඒ මොහොතේ දේශපාලන පිටියේ ඡේ. ආර්. ඉදිරියේ තිබුණේ නැත.

විජයගේ සොහොයුරා වූ සිඩ්නි කුමාරතුංග සමසමාජ පක්‌ෂයේ ක්‍රියාකාරිකයකු විය. ඔහු චිත්‍රපට කිහිපයක ද රඟපා තිබුණු බව සඳහන්ය. විජයගේ දේශපාලන ජීවිතයට සේම සිනමා ජීවිතයට ද 'සිඩ්නි අයියා'. ඔහුට බෙහෙවින් බලපා තිබුණි. සිඩ්නි කුමාරතුංගගේ පුතා වන ජීවන් කුමාරතුංගගේ විවාහ මංගල්‍යය යේදී තිබුණේ 1988 වසරේ ජනවාරි මාසයේය. කොළඹ ඉන්ටර්කොන්ටිනෙන්ටල් හෝටලයේ පැවති මෙම මංගල උත්සවයේදී මනමාල ජීවන් කුමාරතුංග පෝරුව වෙත කැන්දාගෙන එන ලද්දේ 'විජය බාප්පා' විසිනි. මෙම අවස්‌ථාව සඳහා ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන ද සහභාගි වී සිටියේය. විජය සහ ජනාධිපතිවරයා එකිනෙකා සමඟ දීර්ඝ වේලාවක්‌ කතාබහ කරමින් සිටින අතරේ ඡේ. ආර්. විසින් විජයට පවසා තිබුණේ, යම් දිනක උතුරේ ප්‍රශ්නය විසඳීමට සූදානම් තරුණයකුට රටේ නායකත්වය හිමිවන අතර, විජයට එය ලෙහෙසියෙන් කළ හැකි බවය. එම නිසා උතුරේ ප්‍රශ්නය විසඳීමට නිර්ව්‍යාජ උත්සාහයක්‌ දරන ලෙසත් ජනාධිපතිවරයා එහිදී විජයගෙන් ඉල්ලා සිටියේය.

ඡේ. ආර්. ජයවර්ධනගේ මෙම ප්‍රකාශය, විජය වෙත දෙනු ලැබූ දේශපාලන ලණුවකට වඩා වැඩි දෙයක්‌ නොවන බව ජයවර්ධන චරිත ස්‌වභාවය අනුව තේරුම්ගත හැකිය. තමන්ට තෙවැනි වතාවටත් ජනාධිපති වීම සඳහා විජය තරම් හොඳ ඉත්තෙකු නොමැති බව ඡේ. ආර්. ගේ තියුණු නුවණ විසින් තීරණයක්‌ ගෙන තිබෙන්නට ඇත. ඒ සඳහා අමතර තල්ලුවක්‌ ජීවන්ගේ විවාහ මංගල්‍යයේදී ඡේ. ආර්. විසින් විජයට දෙන ලදී. වාමාංශික සන්ධානය ජාතික මට්‌ටමෙන් 10%ක පමණ ඡන්ද ප්‍රමාණයක්‌ ලබාගනු ඇතැයි ඡේ. ආර්. අපේක්‌ෂා කළේය. එම ඡන්ද ප්‍රතිශතය සඳහා ශ්‍රීලනිපය පිළිබඳ කලකිරුණු මධ්‍යස්‌ථවාදීන් සහ ශ්‍රීලනිපය දක්‌ෂිණාංශික වීම පිළිබඳ කලකිරුණු පිරිස සිටිනු ඇතැයි යන්න ඡේ. ආර්. ගේ අදහස විය.

විජය ඝාතනය වන කාලයේදී එජාපය තුළ තිබුණේ මෙවැනි දේශපාලන වටපිටාවකි.

ඡේ. ආර්. ගේ තුන්වැනි යාමය අගමැති ප්‍රේමදාසගේ බලවත් නොසතුටට හේතුවී තිබුණි. තමන් තුන්වැනි වාරය සඳහා තරග කිරීමට ඇති සූදානම පිළිබඳ ඡේ. ආර්. කැබිනට්‌ මණ්‌ඩලය තබා තමන්ගේ කිචන් කැබිනෙට්‌ටුව හෙවත් සමීප ඇමැතිවරුන් සමඟවත් කතා කිරීමෙන් වැළකී සිටියේය. එසේ වුවත් එය වැඩිකලක්‌ රහසක්‌ ලෙස තබාගත නොහැකි තත්ත්වයක්‌ උද්ගත වූයේ, තෙවැනි වාරය සඳහා ඉදිරිපත්වීමට ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ කරා යැමට සිදුව තිබුණු හෙයිනි. පක්‌ෂ අභ්‍යන්තරයේදී 'ඊළඟ ජනාධිපතිවරණයේ අපේක්‌ෂකයා කවුද...?' යන ප්‍රශ්නය අසන විට කලින් සූදානම් කරගත් පිළිතුරක්‌ ඡේ. ආර්. ට තිබුණි. ඒ වන විට ආසන්න වෙමින් පැවති ප්‍රංශ ජනාධිපතිවරණය සඳහා තරග කරන්නේ කවරෙක්‌ ද යන්න ජනාධිපති ප්‍රන්ශෝවා මිතරෝන් පවසා නොතිබීම ගෙන හැර දැක්‌වූ ජනාධිපති ජයවර්ධන, කල් තබා (1987 නොවැම්බර්) තමන්ගේ අපේක්‌ෂිකාව ලෙස සිරිමාවෝ බණ්‌ඩාරනායක නම් කිරීම ශ්‍රීලනිපය සිදුකරන ලද විශාල වැරැද්දක්‌ බව ප්‍රකාශ කළේය. මේ නිසා ඇයගේ පරණ වැරදි ඇද ප්‍රහාර එල්ල කිරීමට එජාපයට අවස්‌ථාව ලබාදී ඇති බව ඔහුගේ මතය විය.

භීෂණය දැවැන්ත ආකාරයෙන් සමාජය තුළට ඇතුළු වෙමින් තිබුණි. සදාකාලික සාමය සඳහා යෑයි කියමින් ඇඳිරි නීති පනවමින් නිර්ලඡ්ජිත ආකාරයෙන් ඉන්දීය බලහත්කාර ප්‍රයත්නය සඳහා ජනාධිපති ජයවර්ධන විසින් දොරගුළු විවර කර දෙමින් තිබුණි. ඉන්දු - ලංකා ගිවිසුම ඡේ. ආර්. සමඟ ඊට එක හඬින් එකඟතාව පළ කරන ලද්දේ විජය කුමාරතුංග සහ ඔහු සමඟ සිටි සමසමාජ - කොමියුනිස්‌ට්‌ වැනි පැරැණි වමේ ව්‍යාපාරයේ පක්‌ෂ පමණය. ගිවිසුමට එරෙහිව සිටි අගමැති ප්‍රේමදාස වුවමනාවෙන්ම එම අවස්‌ථාව මඟහැරීම සඳහා විශාල ප්‍රසිද්ධියක්‌ ලබාදෙමින් විදේශගත විය. ඔහු විසින් ගිවිසුමට එරෙහිව තමන්ගේ පුද්ගලික අනුගාමික කණ්‌ඩායම් ආණ්‌ඩුවට සහ ඉන්දියාවට එරෙහිව හඬනැඟීම සඳහා යොදාගනිමින් පැවතුණි.

විජය විසින් ඉන්දු - ලංකා සම්මුතිය වෙනුවෙන් පෙනී සිටීමට ප්‍රතිප්‍රහාරයක්‌ ලෙස දෝ අගමැති ප්‍රේමදාසගේ තිරය පිටුපස මෙහෙයවීම මත කලාකරුවෝ සමූහයක්‌ ගාලුමුවදොර පිටියේ සිට ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලය දක්‌වා ඉන්දීය බලහත්කාර ප්‍රයත්නයට එරෙහිව විරෝධතා ගොනු කරන ලද පෙත්සමක්‌ සහිතව පෙළපාලියකින් ගමන් කළෝය. එහි ඉදිරියෙන්ම සිටියේ සිනමාවේදී විජයගේ රූපයට ගීතයෙන් අලංකාර කළ එච්. ආර්. ජෝතිපාලය. කලාතුරකින් දැකිය හැකි දසුනක්‌ ලෙස එම පෙළපාලිය සඳහා ජෝති සහභාගි වූයේ සරමක්‌ සහ කමිසයක්‌ ඇඳගෙනය. ඊට ටික දිනකට පසු, 1987 ජූලි හත්වැනිදා ජෝතිපාල මියගියේය. ඔහු අවසන් වරට ප්‍රසංග වේදිකාවක පෙනී සිටියේ අගමැති ප්‍රේමදාසගේ ජනප්‍රිය වැඩ සටහනක්‌ වූ වාර්ෂිකව පැවැත්වෙන ගම් උදාව සඳහාය. විජයගේ රූපය සඳහා පසුබිම් ගායනයෙන් කදිමට ගැලපුනේ ජෝතිගේ හඬය. ජෝතිගේ හඬ තම රූපය සඳහා ගැලපෙන ආකාරය විස්‌තර කරමින් වරක්‌ විජය පවසා තිබුණේ ඒ සඳහා තමන්ගේ හඬවත් ඒ තරම් නොගැලපෙන බවය. දේශපාලනයේදී ජෝතිගේ තේරීම වූයේ විජයගේ දේශපාලන විරුද්ධවාදියා වූ අගමැති රණසිංහ ප්‍රේමදාසය. කතරගම පැවති ගම් උදාවේ අවසන් ප්‍රසංගය සඳහා. "පෘතුගීසිකාරයා...." ගීතය ගායනා කරමින් සිටියදී ඔහු බරපතළ ලෙස අසනීප වූ අතර ප්‍රසංගය අතර මැදදී ඔහු රෝහල්ගත කරන ලද්දේය. ඉන් දින කිහිපයකට පසු ජෝතිගේ මියුරු හඬ ස්‌වරය සජීවීභාවයෙන් සදහටම මිදුණි.

දේශපාලනයෙන් දෙපිළක සිටිය ද විජය සහ ජෝති කුළුපඟ මිතුරෝ වූහ. 1977 මහ මැතිවරණයේදී රට පුරා පැවති එජාප රැස්‌වීම් සඳහා ගායනයෙන් සහාය ලබාදුන් ජෝති, කටාන ආසනයේ පැවති එ. ජා. ප. රැස්‌වීම සඳහා සහභාගි නොවීය. කටාන ආසනයෙන් එජාපයට එරෙහිව ශ්‍රීලනිපයෙන් ඉදිරිපත්ව සිටියේ විජය කුමාරතුංග බැවින් සිය මිත්‍රයාට ෙද්‍රdaහී නොවීම පිණිස ජෝති මෙම පියවර අනුගමනය කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් තැබීම හේතුවන් රට පුරාම ආණ්‌ඩු විරෝධී කැරලිකාරිත්වයක්‌ මතුවිය. ඒ සඳහා සංවිධාන ශක්‌තිය සපයා දුන්නේ ජවිපෙය. ඉන්දියාවට ශ්‍රී ලංකාව පාවාදුන් ෙද්‍රdaහියා ලෙස ජනාධිපති ජයවර්ධන එහිදී දැඩි විරෝධයට ලක්‌වන විට ඊට මදක්‌ ඔබ්බෙන් ෙද්‍රdaහී ආසනයට විජය කුමාරතුංග ද නැංවීමට විරෝධතාකරුවෝ කටයුතු යොදා තිබුණි. තම දේශපාලන ප්‍රතිවාදී බව නොසලකා ඉන්දු - ලංකා ගිවිසුම වෙනුවෙන් ඡේ. ආර්. සමඟ විජය සිටගැනීම මේ විරෝධය සඳහා පදනම වී තිබුණි. ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලය විසින් ගිවිසුමට පක්‌ෂපාති වාමාංශික කොටස්‌ සහ උගතුන්ට පවසන ලද්දේ විජය කුමාරතුංග සමඟ එක්‌ව වැඩකරන ලෙසය.

ඉන්දු - ලංකා ගිවිසුමට දක්‌වන විරෝධයක්‌ ලෙස එජාපයට එරෙහිව දැඩි සන්නද්ධ ක්‍රියාමාර්ගයක්‌ සඳහා ජවිපෙ යොමුවී සිටියේය. අසූ හත වසරේ ජූලි 31 වැනිදා එළිවෙන යාමයේ, එජාපය නියෝජනය කළ තංගල්ල ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජිනදාස වීරසිංහ වෙඩිතබා, අනතුරුව අලවංගුවකින් ද පහරදී මරාදමා තිබුණේ එම දැඩි ක්‍රියා මාර්ගයේ ප්‍රතිඵලයක්‌ ලෙසය. ඔහු සිය බල ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී වාහනයට යා නොහැකි ලෙස මහ මඟ හරස්‌ වන සේ කාණුවක්‌ කපා අවහිර කොට මෙම ඝාතනය සිදුකර තිබුණි. ජි_නදාස වීරසිංහ සමඟ ගමන් කරමින් සිටි ඔහුගේ බාල පුතාගේ බඩට ද ඝාතකයෝ අලවංගුවකින් පහරදී ඝාතනය කිරීමට උත්සාහ දරන ලද නමුත් එය ව්‍යර්ථ වී ගොස්‌ තිබුණි. පාර්ලිමේන්තුවේ ආණ්‌ඩු පක්‌ෂ රැස්‌වීමට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කිරීමට ජවිපෙ සමත්වීම රාජ්‍යය අරාජිකත්වය කරා ගමන් කිරීම හොඳින්ම පෙන්නුම් කළේය. අසූ හතේ අගෝස්‌තු 17 වැනිදා ජවිපෙ සාමාජිකයකු වන පාර්ලිමේන්තුවේ ගෘහ පාලන ඒකකයේ සේවකයකු වූ අජිත් කුමාර විසින් අත්බෝම්බ දෙකක්‌ එල්ල කරන ලද්දේ ජනාධිපති ජයවර්ධන, අගමැති ප්‍රේමදාස ඇතුළු සමස්‌ත කැබිනට්‌ මණ්‌ඩලයම එහි අසුන්ගෙන සිටියදීය. එයින් දෙනියාය ආසනය නියෝජනය කළ කීර්ති අබේවික්‍රම සහ පාර්ලිමේන්තුවේ ලඝූ ලේඛක නෝබට්‌ සේනාධීර ද මියගියෝය. ඉන් ජාතික ආරක්‌ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි බරපතළ තුවලා ලබා දිවි ගලවා ගත්තේය. ජනාධිපති ජයවර්ධන බෝම්බයෙන් සිය ජීවිතය බේරාගෙන තිබුණේ අනූනවයෙනි.

විධායකය හා ව්‍යවස්‌ථාදායකය විනාශ කිරීමෙන් පසුව රට අරාජික තත්ත්වයකට යොමුවෙන මොහොතේදී තමන් රටේ පාලන බලය අත්පත් කරගත් බව පත්‍රිකා මඟින් රට පුරා දැනුවත් කිරීමට සූදානමින් ජවිපෙ විසින් මෙම ප්‍රහාරය සංවිධානය කර තිබුණි. රූපවාහිනි සංස්‌ථාව, ගුවන්විදුලි සංස්‌ථාව ඇතුළු රාජ්‍ය මාධ්‍ය ආයතන අල්ලා ගැනීම ද ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තුවට පහරදීමේ පශ්චාත් සැලසුම තුළ තිබුණි.

රජය ලක්‌වී තිබූ අරාජිකභාවය සඳහා මෙයට වඩා උදාහරණයක්‌ අවශ්‍ය නැති තරම්ය. කවුරුන් කාගේ ගොදුරක්‌දැයි සොයාගත නොහැකි තරමට අර්බුදය තුළ එකිනෙකා පැටලී සිටියේය. එකිනෙකා දෙස සැකයෙන් බලනවාට අමතරව වෙනත් යමක්‌ කිරීමට දේශපාලනඥයන්ට වේලාවක්‌ තිබුණේ නැති තරම්ය. විජය ඝාතනය සිදුවන්නේ මෙවැනි වටපිටාවක්‌ තුළය.

විජය ඝාතනය වීම ඡේ. ආර්. ගේ තුන්වැනි යාමය සඳහා තිත තැබීමක්‌ බවට ඉබේම පත්වෙමින් තිබුණි. එසේ වුවත් තමන්ගේ ඉලක්‌කය ඡේ. ආර්. පහසුවෙන් අත්හැරීමට කැමැත්තක්‌ දැක්‌වූයේ නැත. තෙවැනි වරටත් ජනාධිපති වීම සඳහා ඡේ. ආර්. යන ගමන පිළිබඳව එජාපය තුළ තියුණු මතබේද ඇතිවෙමින් තිබුණි. පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ අංක 1 කාමරය ලෙස හඳුන්වන, ආණ්‌ඩු පක්‌ෂ රැස්‌වීම් ශාලාවේ එජාප රැස්‌වීමක්‌ කැඳවා තිබුණේ 1988 වසරේ අග භාගයේය. එහි මුලසුන දරා සිටියේ ජනාධිපති ජයවර්ධනය. එහිදී නැඟී සිටි අධ්‍යාපන සේවා අමාත්‍ය ලයනල් ජයතිලක, "මා ඉතා ගෞරවයෙන් යුතුව යෝජනා කරනවා. ශ්‍රී ලංකා ජනාධිපති වශයෙන් අපේ නායකතුමාගේ ධුර කාලය තුන්වැනි වරටත් දීර්ඝ කළ යුතුය කියලා. ඒ සඳහා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ප්‍රතිපාදන සංශෝධනය කළ යුතු ය කියලා.." යනුවෙන් පැවසූ අතර එම යෝජනාව අගලවත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී මෙරිල් කාරියවසම් විසින් ස්‌ථිර කළේ ය.

යෝජනාවෙන් සතියකට පමණ පසු එක්‌දහස්‌ නවසිය අසූ අටේ සැප්තැම්බර් මස විසිහය වැනිදා ගුවන්විදුලියේ සවස හයේ ප්‍රවෘත්ති විකාශය ආරම්භ වූයේ "කුලියාපිටිය පාර්ලිමේන්තු මන්ත්‍රී පුනරුත්ථාපන හා ප්‍රතිසංවර්ධන අමාත්‍ය ලයනල් ජයතිලක මහතා අද සවස හතරයි තිහට පමණ අවිගත් පිරිසක්‌ විසින් කළ වෙඩිතැබීමකින් මරණයට පත්විය.." යනුවෙනි. ඡේ. ආර්. තුන්වැනි වරටත් ජනාධිපති කළ යුතු යෑයි යෝජනා කළ ලයනල් ජයතිලකගෙන් පසු එය ස්‌ථිර කළ මෙරිල් කාරියවසම් ද වෙඩිතබා ඝාතනය කරන තරමට ඡේ. ආර්. ගේ තුන්වැනි යාමයට විරෝධය එල්ලවී තිබුණි. 1989 සැප්තැම්බර මාසයේ මරාදමන ලද මෙරිල් කාරියවසම් 'මුහුදු ළිහිණි' චිත්‍රපටයේ නිෂ්පාදනය සහ කතාව, දෙබස්‌, තිර නාටකය සඳහා දායකත්වය ලබාදී තිබුණි. සුනිල් ආරියරත්න අධ්‍යක්‌ෂණය කරන ලද එම චිත්‍රපටයට සහාය අධ්‍යක්‌ෂණයෙන්ද මෙරිල් කාරියවසම් දායක වී තිබුණි. ඡේ.ආර්.ගේ තුන්වැනි යාමය සඳහා නීතිඥ අදහස ලබාදුන් නාවල ප්‍රදේශයේ පදිංචිවී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වූ ටියුඩර් කීර්තිනන්ද එක්‌සත් ජාතික පක්‌ෂයේ කෘත්‍යාධිකාරී සභිකයකු වශයෙන් කටයුතු කළ අතර එජාපයේ ජාතික සේවක සංගමයේ සමාරම්භකයන් තිදෙනාගෙන් එක්‌ අයෙක්‌ විය. ටියුඩර් 1960 මාර්තු මහා මැතිවරණයේදී නාවලපිටිය ආසනයට එජාපය වෙනුවෙන් තරග කර තිබුණි. 1988 ඔක්‌තෝබර් 24 වැනිදා නීතිඥ කීර්තිනන්ද නාදුනන තුවක්‌කුකරුවෙකු විසින් ඝාතනය කර තිබුණි.

විජය කුමාරතුංග ඉදිරියට දමා තුන්වැනි වරටත් ජනාධිපති වීමට ඡේ. ආර්. මාන බලන අතරේ ඡේ. ආර්. ගේ තුන්වැනි ගමනට වචනයෙන් පවා සහයෝගය දුන් පිරිසට ද අවසන් ගමන් යැමට සිදුවන තත්ත්වයක්‌ උදාවී තිබුණි.

ඔසිත අත්තනායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.