ඩෙංගු කීටයන් රසකර කමින්
මල් පැණි බොන අලුත්ම මදුරුවා...

උපාලි ද සේරම්
පිංතූර - සුජාතා ජයරත්න


ප්‍රමාණයෙන් මිලිමීටර් ගණනක්‌ වුවත් මදුරුවාගේ ඇති භයානකකම මේ දිනවල අපට හොඳින් අවබෝධ වී ඇත.

අතීතයේදී මැලේරියා, බරවා වැනි මදුරු වසංගත රෝග පැතිර ගියා හා සමානව වර්තමානයේ ඩෙංගු මදුරු වසංගතයක්‌ රට පුරා පැතිර ගොස්‌ තිබේ.

මදුරුවකුගේ ඉතා කුඩා තුඩකින් ශරීරගත වන වෛරසයකට මිනිස්‌ ජීවිතයක්‌ බිලි ගැනීමට තරම් හැකියාවක්‌ තිබීමෙන් මේ වන විට මදුරුවන් කෙරෙහි අප තුළ ඇති බිය දෙගුණ තෙගුණ වී ඇත. ඊඩිපස්‌ වර්ගයට අයත් ඩෙංගු මදුරුවා මඟින් පැතිර යන ඩෙංගු වෛරසය කාණ්‌ඩ හතරක්‌ ඇත.

මේ වන විට රට පුරා දරුණු වසංගතයක්‌ව ඩෙංගු රෝගය පැතිර යන්නේ ඩෙංගු වෛරස්‌ කාණ්‌ඩ එක පමණක්‌ නොව දෙකද ක්‍රියාකාරී වී තිබීම යෑයි වෛද්‍යවරු පවසති.

මදුරු වසංගතය නැති කරන්නට නම් උන්ට මිනිසුන්ගේ ශරීරයේ ලේ උරා බොන්නට නොව මල් පැණි උරා බොන්නට පුරුදු කරමු යෑයි ඇතැම් දෙනා හාස්‍යයෙන් යුතුව පැවසූහ.


එසේ හාස්‍යයෙන් යුතුව පැවසූ දෙය වර්තමානයේ සැබෑවක්‌ බවට පත්ව තිබේ. මල් පැණි බොන, ශාක යුෂ උරා බොන ඩෙංගු මදුරු කීටයන් ආහාරයට ගන්නා මදුරුවකු බිහි වී ඇත. කීට අවස්‌ථාවේදී ඩෙංගු මදුරු කීටයන් ආහාරයට ගනු ලබන මදුරු අවස්‌ථාවේදී මල් පැණි සහ ශාක යුෂ උරා බොන මෙම මදුරුවා ටොක්‌ සොරින් කයිටිස්‌ (Toxorhyn chites) නමින් හඳුන්වයි.

මෙම මදුරුවාගේ වර්ග දෙකක්‌ සිටිති. ස්‌ප්ලෙන්ඩන්ස්‌ (Splendens) සහ මිනිමස්‌ (Minimus) එම මදුරු වර්ග දෙකය.

වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් වසර එකහමාරකට පෙර පර්යේෂණ ව්‍යාපෘතියක්‌ ලෙස ක්‍රියාත්මක කර ඉන් ලැබූ සාර්ථකත්වය අනුව මෙම මදුරු විශේෂය ඩෙංගු මදුරු කීටයන් විනාශ කිරීම සඳහා මේ වන විට පරිසරයට මුදා හැර ඇත. ඒ සඳහා මූලික වී කටයුතු කරන්නේ පරපෝෂිතවේදී සහ කීට විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ මහත්මියයි.

ඇයගේ මෙම ව්‍යාපෘතිය සඳහා සෞඛ්‍ය ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මහතාගේත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‌ෂ වෛද්‍ය ලක්‌ෂ්මී මාරතිලක මහත්මියගේත් නොමඳ සහාය ලැබේ.

මෙම මදුරුවා සම්බන්ධව විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ මහත්මිය විස්‌තර කළේ මෙලෙසිනි.


වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‌ෂිකා වෛද්‍ය ලක්‌ෂ්මී මාරතිලක මහත්මිය සහ විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ මහත්මිය
"ටොක්‌ සොරින් කයිටිස්‌ මදුරුවා බෝවන්නේ පිරිසිදු ජලය සහිත ස්‌ථානවලයි. මෙම මදුරුවා බිත්තර දමන්නේ පියඹා ගෙන යන අතරතුරයි. ඒ නිසා අපට මෙම මදුරුවා වරකට බිත්තර කොපමණ ප්‍රමාණයක්‌ දමනවාද කියා හරියටම කියන්න බැහැ. නමුත් මෙම මදුරුවා වරකට දමන බිත්තර 10 ක්‌ 15 ක්‌ පමණ පිරිසිදු ජලයෙන් හමුවෙනවා.

"මෙම මදුරුවාගේ කීට අවස්‌ථාව පියවර හතර සහිතව දිගු කාලයක්‌ පවතිනවා. සීතල පරිසරයකදී නම් එය සති 5 ක්‌ පමණ වෙනවා. උෂ්ණ පරිසරයකදී මෙම කාලය අඩු වෙනවා.

"මෙම කීටයාගේ ඇති විශේෂත්වය තමයි ඩෙංගු මදුරු කීටයන් ආහාරයට ගැනීම. ඒ නිසා මෙම මදුරුවා ඩෙංගු මදුරුවන් මර්දනය සඳහා එක්‌ විසඳුමක්‌ ලෙස යොදා ගත හැකියි.

"අනෙක මෙම මදුරුවාගේ ඇති අනෙක්‌ විශේෂත්වය තමයි කීට අවස්‌ථාවෙන් පසු මදුරුවා බවට පත් වූ විට උන් ආහාරයට ගන්නේ මල් පැණි සහ ශාක යුෂයි. විශේෂයෙන්ම හබරල යුෂ ආදිය උරා බොනවා.

"එසේම මෙම මදුරුවාත් බිත්තර දමන්නේ ඩෙංගු මදුරුවන් බිත්තර දමන ස්‌ථානවලමයි. උණ බම්බු, ගස්‌ බෙන, පිරිසිදු ජලය රැඳී තිබෙන ස්‌ථාන ආදියෙහි මෙම මදුරුවා බිත්තර දමනවා.

"මෙම මදුරුවාට මිනිසුන්ගේ ලේ උරා බොන්න බැරි වන ලෙස උගේ තුඩ (ශුන්ඩාව) පසුපසට වක්‌ වී තිබෙනවා.

"සාමාන්‍යයෙන් මිනිස්‌ සිරුරේ ලේ උරා බීමට නම් මදුරු තුඩ කෙලින් තිබිය යුතුයි.

මෙම ශාක භක්‌ෂක මදුරුවා කළු දුඹුරු පැහැයෙන් යුක්‌තයි.

ටොක්‌ සොරින් කයිටිස්‌ මදුරු කීටයන් ඩෙංගු මදුරු කීටයන් ආහාරයට ගන්නා අයුරු
"වැඩුණු මදුරුවකුගේ ශරීරය මිලිමීටර් 19 ක්‌ (19mm) විශාලත්වයෙන් යුක්‌තයි. තටු විහිදා ගත් විට මිලිමීටර් 24 ක්‌ (24mm) පමණ විශාලයි.

"මෙම මදුරුවාගේ කීට අවස්‌ථාව දිගු කාලයක්‌ පවතින නිසා ඩෙංගු මදුරු කීටයන් විශාල ප්‍රමාණයක්‌ ආහාරයට ගත හැකියි. ඩෙංගු මදුරුවාගේ කීට අවස්‌ථාව පවතින්නේ දින තුනක්‌ වැනි කෙටි කාලයක්‌ පමණයි.

"දැනට මෙම මදුරුවන් ජීවත් වන්නේ ගහකොළ සහිත ග්‍රාමීය පරිසරවලයි. මොවුන් ටින්, ප්ලාස්‌aටික්‌ භාජන, ඉවත දමා ඇති ටයර්වල වැනි පිරිසිදු ජලය රැඳෙන ස්‌ථානවල බෝ කිරීම සඳහා දැනට පර්යේෂණ කරගෙන යනවා.

"ඩෙංගු මදුරුවා එවැනි ස්‌ථානවලත් බිත්තර දමමින් මදුරුවන් බෝකරන නිසා එවැනි ස්‌ථානවලත් මෙම මදුරුවා බිත්තර දමා කීටයන්ට ජීවත් විය හැකි මට්‌ටමට හුරු කළොත් ඩෙංගු මදුරු මර්දනය සඳහා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි.

"දැනට මෙම මදුරුවන් හාරසියයක්‌ මහනුවර, කුණ්‌ඩසාලේ, මීරිගම, කණ්‌ඩලම වැනි ප්‍රදේශවලට ගෙන ගොස්‌ දමා තිබෙනවා. එම ප්‍රදේශවල ඉතා සාර්ථකව කීටයන් වර්ධනය වෙනවා.

"මෙම එක්‌ මදුරුවකු තම ජීවන කාලය තුළ වාර හතරක්‌ පමණ බිත්තර දමනවා.

"මිනිසුන්ට හිතකර මෙවැනි මදුරුවන් වර්ධනය කර ගැනීමේදී අප වඩාත් සැලකිලිමත් විය යුතු කරුණු තිබෙනවා. මදුරු මර්දනය සඳහා භාවිතා කරන ධුමායන මෙවැනි හිතකර මදුරුවන් සිටින ස්‌ථානවලට යෙදීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. මොකද එවැනි ධුමායන මඟින් සියලු මදුරුවන් විනාශ වී යනවා.

ශාක භක්‌ෂක මෙම මදුරුවන්ගෙන් ගොයම් ගස්‌වලට හානියක්‌ නැහැ".

විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරතුංග මහත්මිය විසින් මෙම ශාක භක්‌ෂක මදුරුවා ගැන කළ පැහැදිලි කිsරීමට අනුව මාරාන්තික ඩෙංගු මදුරුවා මර්දනය කිරීමට මින් යම් සහයෝගයක්‌ ලැබුණද මදුරුවන් බෝවන ස්‌ථාන විනාශ කිරීම, පරිසරය පවිත්‍රව තබා ගැනීම සඳහා අප අනුගමනය කරන වැඩපිළිවෙළ නතර නොකළ යුතුය.

ඩෙංගු මදුරු ඝනත්වය වැඩි කොළඹ, ගම්පහ වැනි නාගරික ප්‍රදේශවල ජීවත්වීමට තවම මෙම මදුරුවා අනුවර්තනය වී නැත. එසේම මදුරුවන් බෝවීමේ පරිසර සකසනවාට වඩා මදුරුවන් බෝ නොවන පරිසර සැකසීමට පියවර ගැනීම අප කොයි කාගේත් යහපතට හේතුවනු ඇත.

ඩෙංගු කීටයන්a නසන මෙම මදුරු ඝනත්වය වැඩි කර ඩෙංගු මර්දනය කරන විට මල් පැණි බොන, ශාක යුෂ උරා බොන මදුරු ඝනත්වයද වැඩි වේ. එවිට ගස්‌වැල්වල ඵලදාවට බලපෑම් ඇතිවුවහොත් එය පාලනයටද තවත් මදුරුවකු බිහිකරන්නට සිදුවේවි.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.