මෛත්‍රිපාල සිරිසේන ඝාතනයට
අනුබල දුන් විත්තිකාරියට සිරදඬුවම්


ඒ. ඡේ. ඒ. අබේනායක

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී බොරලැස්‌ගමුව පිරිවෙන් හන්දියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ එල්ටීටීඊ සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියට නවාතැන් දීමේ අධිචෝදනාවට වරද පිළිගත් විත්තිකාරියකට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඊයේ (4 දා) බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවම් ලබාදී එය වසර 10 කට අත්හිටුවීමට නියෝග කළේය.

විත්තිකාරියට රුපියල් 25,000 ක දඩයක්‌ ගෙවීමටද එහිදී නියම කළ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිත මාස හයක සිරදඬුවම් ලබාදීමටද නියම කළේය.

වව්නියාව ප්‍රදේශයේ පදිංචි සෙල්වකුමාර් වේළුමනි නමැති 62 හැවිරිදි විත්තිකාරියකට එම දඬුවම් නියම කළේය. 2008 ඔක්‌තෝබර් 9 වැනිදා එම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබල සාමාජිකාවක්‌ වන මරාගෙන මැරෙන ත්‍රස්‌තවාදී කාන්තාවකට නවාතැන් දී රැකවරණ දීමෙන් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබුණි. එම නඩුව ඊයේ කැඳවූ අවස්‌ථාවේදී විත්තිකාරියට මහාධිකරණ භාෂණ පරිවර්තකවරයා විසින් චෝදනා පත්‍රය කියවා දුන්නේය. තමන් එම චෝදනාවට වරද පිළිගන්නා බව විත්තිකාරිය සිය නීතිඥවරයා මගින් අධිකරණයට දැනුම් දුන්නේය. ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ විත්තිකාරිය සිදුකර ඇති වරදට වසර 5 කට නොඅඩු වසර 20 කට නොවැඩි සිරදඬුවමක්‌ නියම කළ හැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

අවිවාහක ගැහැනු දරුවන් පස්‌ දෙනකුගේ මවක්‌ වන විත්තිකාරියගේ ස්‌වාමිපුරුෂයා දැඩි ලෙස අසනීප තත්ත්වයෙන් පසුවන බවත් 62 හැවිරිදි විත්තිකාරියද විවිධ රෝගාබාධවලින් පෙළෙන අයකු බවත් පෙන්වා දුන් විත්තියේ නීතිඥ ආනෝල්ඩ් ප්‍රියන්තන් මහතා නිවාසවලට ගොස්‌ කුලී වැඩකරදී සිය දරු පවුල නඩත්තු කරනා ඇයට ලිහිල් දඬුවමක්‌ නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. විත්තියේ එම ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා විත්තිකාරිය අධිකරණයේ කාලය නිකරුණේ මිඩංගු නොකර නඩු විභාගයට පෙර වරද පිළිගැනීම කෙරෙහි අවධානය යොමුකර එම දඬුවම් නියම කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.