අතුරුගිරියේ සුපිරි හොරෙක්‌
කාමරයක නැවතිලා ගෙවල් දහයක්‌ බිඳලා
හෝටල් බිල හොර සල්ලිවලින්ම ගෙවලා

ඔරුවල - සරත් ද සිල්වා

අතුරුගිරිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටිමින් ප්‍රදේශය පුරා නිවාස බිඳ එම මුදලින් හෝටල් බිල ගෙවමින් සුරසැප විඳි 26 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට පත්වූ බව අතුරුගිරිය පොලිසිය පවසයි.

පසුගිය 9 දින මෙලෙස අත්අඩංගුවට පත්වූයේ සූරියවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ තරුණයෙකි. මෙම සැකකරු විසින් හෝටලයේ කාමරයක්‌ මුදල් ගෙවා ලබාගෙන එහි කාලය ගතකරමින් සිටින අතර තුර දහවල් කාලයේ සහ රාත්‍රියේ ප්‍රදේශය පුරා පයින් ඇවිද යමින් සෝදිසි කර දොරවල් වසා නිවැසියන් පිටතට යැමෙන් අනතුරුව එම නිවෙස්‌හි ජනෙල් ගලවා නිවස තුළට රිංගා එහි අල්මාරි හෝ වෙනත් ස්‌ථානයන්හි තැන්පත් කර ඇති රන් භාණ්‌ඩ සහ මුදල් විදෙස්‌ මුදල් මෙලෙස සොරකම් කර තිබිණි.

මෙම සැකකරු විසින් මේ වන විට a අතුරුගිරිය බල ප්‍රදේශයේ ජයන්ති පාර, ගල්පොත්ත පාර, ගෝවින්න මාවත, බොරළුගොඩ, පිට්‌ටුගල, කහංතොට වැනි ප්‍රදේශයන්හි නිවාස 10 ක්‌ බිඳ දේපළ සොරකම් කර ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන තිබිණි. එක නිවසක්‌ බිඳ එහි දේපළ විකුණා ගන්නා මුදලින් හෝටලයේ සුරසැප විඳ එම මුදල් අවසන් වීමේදී තව නිවසක්‌ බිඳ මුදල් සොයා ගැනීම මෙම සැකකරුගේ සිරිත විය. මාස තුනකට ආසන්න කාලයක්‌ තුළ මෙම නිවෙස්‌ 10 ම බිඳ ඇති අතර මෙම සැකකරු හම්බන්තොට මහෙස්‌ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු හතක්‌ සඳහා අවශ්‍යව සිටි වරෙන්තු හතරක්‌ ඇති පුද්ගලයෙකු බව පොලිස්‌ විමර්ශන තුළින් හෙළිවී තිබිණි. නිවෙස්‌ බිඳුම් සිදුකොට සිරගතවී සිට එම අපරාධ සඳහා විභාගවන නඩු මගහැර මෙලෙස අතුරුගිරිය ප්‍රදේශයට පැමිණ හෝටලයක සැඟවී සිට එම ගෙවීම් කිරීමටත් නිවාස බින්ඳ මෙම සැකකරු සොරකම් කිරීම ප්‍රදේශයේ සීසීටීවී කැමරා පද්ධති කිහිපයකම සටහන්වී තිබිණි. ලද තොරතුරු අනුව හෝටලයේ ලැඟුම් ගෙන සිටියදීම සැකකරු අතුරුගිරිය පොලිස්‌ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්විය.

පොලිසිය විසින් සිදුකළ විමර්ශනය තුළින් මෙම සැකකරු විසින් ප්‍රදේශයේ උකස්‌ කඩ වෙත උකස්‌ කර තිබූ රන් භාණ්‌ඩ පොලිසිය විසින් සැකකරුගේ මග පෙන්වීම මත සොයා අත්අඩංගුවට ගෙන තිබිණි. එහිදී රන්මාල පෙන්ඩන්ට්‌, මුදු, වළලු, කරාබු වැනි රන් භාණ්‌ඩ රැසක්‌ පොලිසිය විසින් සොයාගෙන තිබිණි. මීට අමතරව සැකකරු සන්තකයේ තිබී ඇමරිකන් ඩොලර් මැලේසියා ඇතුළු විදේශ මුදල් තොගයක්‌ද පොලිසිය විසින් සොයාගෙන තිබිණි. සැකකරු කඩුවෙල සහ හම්බන්තොට මහෙස්‌ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උපුල් අලවත්ත මහතාගේ අධීක්‍ෂණයෙන් එහි අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක චන්ද්‍රසේකර මහතාගේ මෙහෙයවීමෙන් සහ උපදෙස්‌ මත උ.පො.ප. ජයවර්ධන, කාන්තා පො.සැ. (344) සිරියා පො.කො. වරුන් වන (85151) මඩවල, (7912) කීර්ති යන නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සිදුකෙරේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.