ක්‍රිකට්‌ නිරුවතින්

සිම්බාබ්වේ සමඟ පැවැති එක්‌දින තරගාවලියත් පරාජය වීම නිසා මෙරට ක්‍රිකට්‌ ක්‍රීඩාව අහසින් පොළොවට නොව පොළොවේ සිට ද අඩි තිහක්‌ පමණ ගැඹුරට කි¹ බැස්‌ස බව සඳහන් කළ යුතු ය. ඇත්තෙන්ම වෙනදා මහත් උනන්දුවෙන් ක්‍රිකට්‌ තරග නැරඹූ ප්‍රේක්‍ෂකයන් අද ඒ ගැන දක්‌වන උනන්දුව ඉතා අල්ප ය. තමන්ගේ ජංගම දුරකථනයට ලැබෙන කෙටි පණිවුඩයෙන් පමණක්‌ ක්‍රිකට්‌ තරගයේ ප්‍රතිඵල බලා සෑහීමට පත්වෙති. නැත්නම් රූපවාහිනිය ළඟ වාඩි වී ක්‍රිකට්‌ තරග බලා නිකරුනේ සිත් තැවුල් කළකිරීම් ඇති කර ගත යුතු නැත. ලංකාව පරාජය වූයේ ලෝක එක්‌දින ශ්‍රේණිගත කිරීම් අනුව 11 වැනි ස්‌ථානයේ සිටින කණ්‌ඩායම හමුවේ ය.

ක්‍රිකට්‌ පරාජ කවරක්‌ වෙතත් සූරියවැවදී කලිසම් ගැලවීම ගැනත් කතා නොකරම බැරිය. එහිදී කලිසම් ගැලවූයේ ක්‍රීඩාංගණ සහායකයන්ගේ වුවත් නිවැරැදි ලෙසම ක්‍රිකට්‌ බලධාරීන්ගේ අමුඩය ද ගැලවී ඇති බව සටහන් කළ යුතුය. කලිසම් ගැලවීම ගැන තමන් කිසිම අනුබලයක්‌ නුදුන් බව ක්‍රිකට්‌ සභාපතිවරයා නිවේදනය කර ඇත. නමුත් ක්‍රීඩාංගණ සහායකයන්ගේ ආත්ම ගරුත්වය ගැන ද නොසලකමින් මේ පහත් වැඩ කළේ කවරකුද? මේ පිරිසකගේ දිනක වැටුප ලබා දී ඇත්තේ ද කලිසම් ගලවා ගැනීමෙන් පසුව ය. ක්‍රිකට්‌ ආයතනය මේ කලිසම් ටික අර තරුණයන්ට පරිත්‍යාග කළා නම් කොපමණ අගනේද? මිලියන ගණනින් නාස්‌තිකාර වියදම් කරන මේ ආයතනය රුපියල් දහසකටත් අඩු වටිනාකමක්‌ ඇති කලිසම් තොගයට ලෝභ වූයේ මන්ද? ඒ පිළිබඳ අය වැය වාර්තා නිසි පරිදි ලබාදීම සඳහා ද? මේවා සැබැවින් ම නීච ක්‍රියා ලෙස හඳුන්වා දිය යුතුය. ලක්‍ෂ ගණනින් වැය කර සාද පවත්වන මොවුන් කලිසම් ටිකකට ලෝභ වන්නේ කවර හේතුවකට ද? සූරියවැවදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය තම කලිසම ගලවාගෙන ඇත්තේ ඔළුවෙනි. සූරියවැවදී කලිසම් ගැලවීම සැබැවින් ම සටහන් කළ යුත්තේ මෙරට ක්‍රිකට්‌ ඉතිහාසයේ සිදුවූ නින්දා සහගතම සිදුවීම ලෙසය. ක්‍රීඩාංගණ සහායකයන් දින ගණන් එක දිගට පැළඳ සිsටි කලිසම යළි තව අයකුට ලබා දිය හැකිද? මේ නිල ඇඳුම යළි නිලධාරීන් විසින් ආපසු ගන්නා බවක්‌ මේ සේවක මහතුන් දැන සිටියේ නැත. එසේ දැන සිටියා නම් ඔවුන් අවසන් දිනයේ තවත් ඇඳුමක්‌ රැගෙන එනු ඇත. මෙහිදී අවම සදාචාරයවත් ආරක්‍ෂා වී නැති බව පෙනේ.

මේ සිද්ධිය ගැන මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ ක්‍රීඩාංගණ සහායකයන් මෙසේ ප්‍රකාශ කර තිබිණි. අපි දෛනිකව රුපියල් දාහේ දීමනාවකට තමයි සේවයට ගත්තේ. අදට දින හයක්‌ වැඩ කළා. අද වැටුප් ගන්න ගියාම කියනවා වැටුප් දෙන්න නම් කලිසම දෙන්න කියලා. අපිට ඒ පිළිබඳ වේලාසනින් කිව්ව නම් වෙන කලිසමක්‌ අරන් යනවා. කලිසම නැත්නම් වැටුප් නැති හින්දා කලිසම ගලවලාදීලා යට ඇඳුම පිටින් වැටුප් අරගෙන ආවා. දැන් ටිකක්‌ රෑ වෙනකම් ඉඳලා ගෙදර යනවා. මේ සේවකයන්ට රාත්‍රියේදී හෝ ගෙදර යා හැකිව තිබිණි. නමුත් සැබැවින් ම රැයෙත් දවාලේත් නිරුවත් වූයේ කවුරුන්ද? ක්‍රිකට්‌ පාලකයෝම නොවේද?

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.