මහරහතුන් වැඩි මග ඔස්‌සේ චිත්තානුපස්‌සනාව - 39
බුද්ධානුස්‌සතියට පූර්වකෘත්‍යයක්‌ ලෙසින් ඔබ බුදුසමයෙන් එපිට අතීතයට යන්න

පංචඋපාදානස්‌කන්ධය සම්බන්ධයෙන් වූ විග්‍රහය ඉකුත් සතියේ ලිපියෙන් අවසන් වූ අතර මෙතැන් පටන් කොටස්‌ කිහිපයකින් යුක්‌තව පළකෙරෙනුයේ එයට අදාළව භික්‍ෂුව වෙත යොමුවූ පැනයකට ගොනු කළ පිළිතුරකි

බුද්ධානුස්‌සතිය තුළ පිංවත් ඔබ ශක්‌තිමත් වන තරමට ඔබ තුළ බිය කියන කාරණය තුනි වී යනවා. ඔබ නිරතුරුවම බියක්‌ සමඟ ජීවත් වන කෙනෙක්‌ නම්, ඊට මූලිකම හේතුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසයේ දුර්වලභාවයයි. බුදුරජාණන් වහන්සේ වන් උතුම් සරණක්‌ ඔබ අවබෝධයෙන් සරණ කරගත් තැනදී, සොරබිය, රෝගබිය, මරණ බිය, අමනුෂ්‍ය බිය, ග්‍රහ බිය ඔබෙන් නිශේධ වී යනවා. නිවීමේ මාර්ගයේ ගමන් කරන පිංවත් ඔබට ජීවිතයේ යම් තීරණාත්මක අවස්‌ථාවන් එළඹෙනවා, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල විශ්වාසයෙන්, පංචඋපාදනස්‌කන්ධය කෙරෙහි තෘෂ්ණාව අතහැරලා, ජීවිතය මරණයට දමන්න සිද්ධවෙන. ඒ උතුම් අතහැරීමේ තීරණයට ඔබ එන්නේ, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇතිකොටගත් අචල විශ්වාසය නිසාමයි. එම අවස්‌ථාව බුද්ධානුස්‌සතියේ ශ්‍රේෂ්ඨම ඵලයයි.

පිංවතුන් බුද්ධානුස්‌සතිය භාවනාවක්‌ වශයෙන් වැඩීමට පෙරාතුව, පූර්වකෘත්‍යයක්‌ හැටියට, පිංවත් ඔබ පසුකරගෙන පැමිණි අතීත භව ගමනේ, කල්ප ගණන් අති දීර්ඝ වූ අබුද්ධෝත්පාද කාලයන් නුවනින් සිහිපත් කළ යුතු වෙනවා. අබුද්ධෝත්පාද කාලයක දහම වෙන්නේ, මාර දහමයි. මාර දහමේ අර්ථය වෙන්නේ සත්ත්වයා පංච නීවරණවලට කොටුකොට තැබීමයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය අතුරුදන්ව ගිය ලොවක, ධර්මය අධර්මය වූ ලොවක, ගස්‌ ගල් වඳින මිනිසුන්, නිර්වස්‌ත්‍රව විමුක්‌තිය සොයන මිනිසුන්, ගෝ වෘත, බලු වෘත රකිමින් විමුක්‌තිය සෙවූ මිනිසුන්, අශුචි කෑමෙන්, නිර්මාංශ වීමෙන්, ශීතල වතුරේ ගිලෙමින්, ගවයන්, එළුවන්, බැටළුවන් දහස්‌ ගණන් මරා දමමින් සත්ත්ව යාග තුළින් විමුක්‌තිය පිරිසිදුභාවය සෙවූ මිනිසුන්... මිත්‍යාදෘෂ්ටියේ අබුද්ධෝත්පාද කාලයක සැබෑම රුව මොහොතක්‌ නුවනින් දකින්න.

පිංවත් ඔබත්, මෙවැනි දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල ඉපදී, මෙම මිත්‍යදෘෂ්ඨික ක්‍රමවේදයන් නිසා කල්ප ගණන් අපායන්ට වැටී, දුක්‌විඳි හැටි නුවනින් දකින්න. පිංවත් ඔබ බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙරාතුව දඹදිව දෘෂ්ඨීන් හැටදෙකකින් පෝෂණය වූ සමාජ වාතාවරණය නුවනින් දකින්න. එම මිත්‍යදෘෂ්ඨීන්ගෙන් එක දෘෂ්ඨියක්‌ වන්නේ ඊශ්වරයා, බ්‍රහ්මයා සියල්ලේම කර්තෘය, සියල්ලේම නිර්මාතෘය, ලොව සකස්‌ කරන්නාය, උපන් සියල්ලන්ගේම පියාය, මේ උත්තමයා විසින් අපිව මවන ලදී. සිත කියා හෝ විඤ්ඤාණය කියා හෝ මනස කියා හෝ යමක්‌ තිබේ නම් ඒවා නිත්‍යය, නොපෙරෙලෙන සුළුය, ආත්මය මරණින් පසු නිත්‍යය.... මෙවන් මිත්‍යා දෘෂ්ඨීන් හැටදෙකක්‌ විසින් එදා දඹදිව ජනතාව අකුසලයට යොමු කොට තිබිණි. එදා ගෝ වෘත, බලු වෘත රකිමින් විමුක්‌තිය සෙවූ මනුෂ්‍යයෝ වර්තමානයේ හරකුන්, බල්ලන් වී තිරිසන් ලෝකය අත්විඳින අයුරු නුවනින් දකින්න. එදා සත්ත්ව යාග සඳහා සතුන්ගේ බෙලි කැපූ බමුණන් වර්තමානයේ හරක්‌, එළුවන්, කුකුලන්, බැටළුවන් වෙලා මිනිසුන් විසින් බෙලි කපාගෙන මරාගෙන කන හැටි නුවනින් දකින්න. එදා අසූචි කමින් විමුක්‌තිය සෙවූ මනුෂ්‍යයෝ වර්තමානයේ ඌරන් වෙලා අසුචි බුදින හැටි නුවනින් දකිමින් පිංවත් ඔබ බුද්ධානුස්‌සති භාවනාවට අවතීර්ණ වෙන්න.

මෙය සටහන් තබන භික්‍ෂුවට බුදුරජාණන් වහන්සේව සිහිපත්වන මොහොතේම, භික්‍ෂුවකට සිත පිහිටන්නේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේදී මඩ වගුරක දිගාවෙලා, දීපංකර බුදුරජාණන් වහන්සේට තම සිරුර පාවඩයක්‌ බවට පත්කොට පූජා කළ බෝධිසත්ත්වයන්වය. කල්ප ලක්‍ෂ කීයකට ඈත අතීතයක්‌ද..... ඒ මඩ වගුරේ දිගාවෙලා සිටිය බෝධිසත්ත්වයන්ගේ සිතේ හටගත් සිතිවිලි භික්‍ෂුවට මේ මොහොතේ මැවී පෙනෙනවා. 'මම තනිවම නිවන් අවබෝධ කරගන්නේ නැහැ. සියක්‌ කෝටියක්‌ සත්ත්වයන්ට නිවන් මාර්ගය සකස්‌ කොට දෙනවාය කියන සිතිවිල්ලේ සිට, මතු සම්මා සම්බුද්ධත්වය පිළිබඳව ඡන්දය ඇතිවූ ඒ සිතිවිල්ල මොන තරම් පරාර්ථකාමිද. කරුණාබරිතද.

දීපංකර බුදුරජාණන් වහන්සේ අපේ බෝධිසත්ත්වයන්ට 'ඔබ අසවල් කාලයේ" ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා'ය කියන නියත විවරණය ලබාදුන් මොහොතේ, අප බෝධිසත්ත්වයන් තුළ, දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ ඥානයෙන් පෝෂිත ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට සිතේ ඇතිවූ මනෝමය චිත්‍රය ඉලක්‌ක වූයේ, දුකෙන් පෙළෙන ලෝක සත්ත්වයාව දුකෙන් මුදවාලීම උදෙසාමය. මේ ඝොර, කටුක, භයානක සංසාරයේ දුකෙන් පෙළෙන සත්ත්වයාට සැනසිල්ල ඉලක්‌කකොට සාරසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක්‌ දස පාරමී ධර්මයන් පිරීමට ඇතිකොටගත් අධිෂ්ඨානය මොනතරම් වීර්යවන්ත, මෛත්‍රීසහගත අධිෂ්ඨානයක්‌ද. මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දෙමින්, මහ පොලොවේ පසට වඩා ශරීරයේ මාංශ දන් දෙමින්, සක්‌විති රජ පදවි, රාජ රාජ මහාමාත්‍ය පදවි දන් දෙමින්, බිසෝවරු, දරුවන්, වස්‌තු සම්පත් දන් දෙමින් දිවි පරදුවට ශිල්පද රකිමින් අතපය කපා දමද්දීත් මෛත්‍රිය වඩමින්, කෘතගුණ, කෘතවේදීභාවය දිවි දෙවැනි කොට රකිමින්, උතුම් සම්මා සම්බුද්ධත්වය උදෙසා ගමන් කළ යුතු දීර්ඝ භව ගමනට අධිශ්ඨානශීලීව, වීර්යවන්තව සතුටු සිතින් පියමැන්න බෝධි සත්ත්වයන්ගේ කරුණාබරිත පරිත්‍යාගශීලී සිතිවිලි මොහොතක්‌ මෙනෙහි කරන්න.

ඉදිරිපත් කිරීම
ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.