කුණුකන්ද නායගොස්‌ මාස තුනයි

කොලොන්නාව ආසනයේ මීතොටමුල්ල ගැන නිරන්තරව කතාබහට ලක්‌වේ. ඒ කුණු කන්ද නිසාය. පසුගිය සිංහල අවුරුදු දිනයේදී මේ කුණු කන්ද පුපුරාගොස්‌ මහා විනාශයක්‌ සිදුවිය. ඒ කඳුළු තවමත් වියළී නැත. ඒවා ලෙහෙසියෙන් වියෑළෙන්නේද නැත. මන්ද කුණු කන්දට යටකර මිනිස්‌ ජීවිත අහිමිකරනු ලැබූ නිසාය. පසුගිය 14 වැනිදාට මීතොටමුල්ල කුණුකන්ද කඩා වැටී මාස තුන සම්පූර්ණ විය. එහිදී ජීවිත 32 ක්‌ අහිමිවූ අතර නිවාස හැටක්‌ සම්පූර්ණයෙන්ම විනාශවී තවත් නිවාස 22 කට අර්ධහානි සිදුවිය. කුණු කන්දට යටවී මියගිය එක්‌ අයෙකුට රුපියල් දශලක්‍ෂයක වන්දියක්‌ ලැබුණද ඒ යටකර මරා දැමුණු ජීවිතවල අගය මුදලින් ගණනය කළ හැකිද?

කිසිසේත්ම නැත. ජීවිත 32 ක්‌ බිලිගත් නිසා මීතොටමුල්ලට කුණු දැමීම ඉබේම නතර විය. කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා මහතා ප්‍රකාශ කරන්නේ තිස්‌දෙදෙනකුගේ ජීවිත පරිත්‍යාගය නිසා මේ කුණු දැමීම නතර කර දැමීමට හැකිවූ බවයි. දැන් මේ ව්‍යාපාරය ඒ දිවිදුන් අය සිහිකිරීමට ස්‌මාරකයක්‌ තැනීම සඳහා මූලික කටයුතු සූදානම් කර ඇත.

මීතොටමුල්ල ෙ€දවාචකය සැබවින්ම දේශපාලකයන් කළ මිනී මැරුමක්‌ විය. එයින් කිසිවෙකුට පලා යා නොහැකිය. මාස තුනක්‌ නොව වසර තිහක්‌ නොවූවද මෙහි සැබෑ වරදකරුවන් කවුරුදැයි යන්න හෙළිකරගත හැකිවෙයිද යන්න නම් ප්‍රශ්නයකි. මීතොටමුල්ලට කුණු බැහැර කිරීම නැවතීමත් සමඟ කොළඹ කුණු කඳු ගොඩගැසීම ආරම්භ විය. එනිසාම ඩෙංගු උවදුර මාරාන්තිකව පැතිර යන්නට විය. මේ වනවිට මේ වසරේ ගෙවුණු මාස හතේ ඩෙංගු රෝගය වැළඳී ඇති ප්‍රමාණය ලක්‍ෂයකට ආසන්නය. මියගිය පිරිස 270 ඉක්‌මවයි. ඩෙංගු ගැන කතා කිරීමේදී මීතොටමුල්ල ගැන කතාකළ යුතුය. මීතොටමුල්ල ගැන මෙනෙහි කරන විට ඩෙංගු මදුරුවාද සිහිවේ. කුණු ප්‍රශ්නයට විසඳුම් සෙවීම නව ව්‍යවස්‌ථාව ඉදිරිපත් කිරීමට වඩා වැදගත්ය. එය මහජනතාව මරණයෙන් ගලවා ගැනීමකි. ජනතාව මරුගෙන් ගලවා ගැනීමට රජයට නොහැකි නම් නව ව්‍යවස්‌ථා ඉදිරිපත් කිරීම ගඟට ඉනි කැපීමක්‌ වැන්න.

මීතොටමුල්ල කුණු කන්ද පාතාලයට කෝටි ගණනින් ආදායම ලැබුණු ව්‍යාපාරයක්‌ විය. ඒ කප්පම්කරුවන් වෙනුවෙන් දේශපාලකයන් පෙනී සිටියේ සියල්ලන්ගේම මඩි තරවන නිසාය.

ලෝකයේ බොහෝ රටවල කුණු කසළ ආදායම් මාර්ගය කරගෙන තිබුණද මෙරට බලධාරීන්ට මීතොටමුල්ල කසළ කන්ද නිසි කළමනාකරණය කිරීමට හැකිවූයේ නැත. එනිසාම එය මහා විපතකින් අවසන් විය.

මේ කන්ද ඉවත් කරන බවට රජය පොරොන්දු වුවද එය මෙතෙක්‌ ක්‍රියාත්මක වී නොමැත. එසේ නම් කාලය ගෙවීගියද ප්‍රශ්න අවසන්ව නැත. මීතොටමුල්ලේ කුණු කන්දට යටවී මියගිය මිනිස්‌ ජීවිත වෙනුවෙන් රජයට කළ හැකි ලොකුම උපහාරය වනුයේ යළිදු එවැනි අවාසනාවන්ත ඉරණම්වලට මේ රටේ ජනතාව පත් නොවන ආකාරයට කුණු ප්‍රශ්නයට විසඳුම් ලබාදීමයි. මීතොටමුල්ලේ නොවිසඳී ඉතිරි වී ඇති ප්‍රශ්නවලටද රජය කඩිනමින් විසඳුම් ලබාදිය යුතුය.
 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.