සයිටම් අර්බුදයේ ඇතුළාන්තය


ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්‍ෂ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය

අධ්‍යාපනය පිළිබ`ද මෙම ගැටලුව රටේ උණුසුම් දේශපාලන ප්‍රශ්නයක්‌ සේ සෞඛ්‍ය ප්‍රශ්නයක්‌ සේ කරලියට පැමිණියේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි බලවත් ක්‍රියාකාරී සංගමයක්‌ මෙහි කොනකට සම්බන්ධ බැවිනි. මෙය වෛද්‍ය උපාධියට හා වෛද්‍ය වෘත්තීයට අදාළ ප්‍රශ්නයක්‌ නොවන්නට සෙසු අධ්‍යාපන ප්‍රශ්න මෙන් කාලයේ වැලිතලාවෙන් වැසීයැමට ඉඩ තිබුණි. මෙරට පාසල් අධ්‍යාපන පද්ධතියේ හෝ උසස්‌ අධ්‍යාපනයේ පවතින ගැටලු විසඳා ගැනීමට මෙවැනි ''කුලප්පුවක්‌'' නොවීම කනගාටුවට කරුණකි. එය ජාතියේම අවාසනාවකි.

'South Asian Institute of Technology And Medicine' (සවුත් ඒෂියන් ඉන්ස්‌ටිටියුට්‌ ඔෆ් ටෙක්‌නොලොජි ඇන්ඩ් මෙඩිසින්) හෙවත් සයිටම් (SAITAM), මෙය අධ්‍යාපන ප්‍රශ්නයක්‌ද? දේශපාලන ප්‍රශ්නයක්‌ද? සෞඛ්‍ය ප්‍රශ්නයක්‌ද? නැතිනම් මේ සියල්ලේම එකතුවෙන් නිර්මාණය වූවක්‌ද? සයිටම් පිළිබ`දව මේ වන විට වාර්තා වන තොරතුරු හා මැවෙන පුවත් අනුසාරයෙන් ගත් කල සයිටම් ආයතනය පිහිටුවීම මූලික කර ගෙන ඇති වූ තත්ත්වය නිසි පරිදි වටහා ගැනීමටත්, නිසි පරිදි කියවා ගැනීමටත් දේශපාලනඥයින්, වෛද්‍ය සංගමය, මේ සඳහා එරෙහි වන සෙසු පාර්ශවයන් හෝ සාමාන්‍ය ජනතාව සමත් වී නැති බව මාගේ හැ`ගීමයි.

පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයින් සයිටම් මත සිට ගනිමින් අශිෂ්ට දේශපාලනයක නියෑලී සිටින වගක්‌ පෙනෙන්නට තිබේ. විපක්‍ෂ දේශපලඥයෝ සයිටම් ප්‍රශ්නය නොවිස`දීම වර්තමාන ආණ්‌ඩුවේ දේශාපාලන නොහැකියාව පිළිබිඹු කරන්නක්‌ යෑයි ප්‍රකාශ කරති. නමුත් යහපාලන රජය පවසන්නේ සයිටම් ප්‍රශ්නයට තමන් වග නොකිවයුතු බවත් එය පසුගිය මහින්ද රාජපක්‍ෂ රජයේ නිර්මාණයක්‌ බවත් ය. ජාතික ආණ්‌ඩු සංකල්පය තුළ ඔලුගෙඩි මාරු වී ඇති පසුබිමක මහින්ද රාජපක්‍ෂ රජය හෝ මෛත්‍රීපාල සිරිසේනගේ රජය කුමක්‌දැයි වෙන් වෙන් වශයෙන් හ`දුනාගැනීමට අපහසුය. එහෙයින් සයිටම් පිළිබ`ද ඉදිරිපත් වන දේශපාලන විවේචන කිසිදු වැදගැම්මක්‌ නැත. එමෙන් ම රජයට වුවද සයිටම් ප්‍රශ්නය පිළිබ`ද පොදු අදහසක්‌ දක්‌නට නොලැබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ''කෝකටත් තෛල'' වැඩ වර්ජනයෙන් පමණක්‌ මේ ප්‍රශ්නය විසඳා ගැනීමට මාන බලමින් සිටියි.

සයිටම් වෛද්‍ය උපාධියේ බිහිවීම යනු මෙරට අධ්‍යාපනයේත්, අධ්‍යාපන ප්‍රතිපත්තීන්ගේත් දුර්වලතා හේතුවෙන් කාලාන්තරයක්‌ මුළුල්ලේ වර්ධනය වෙමින් පැවති ගැටලුවල ආසන්නතම පිළිඹිබුවකි. එමෙන්ම මෙම ආයතනයේ බිහිවීමත් සමඟ ඇතිවූ තත්ත්වයන් නිසි පරිදි හඳුනා නොගැනීම හා ඒ ආශ්‍රිතව ගොඩනැඟෙන සිදුවීම් කළමනාකරණය කර නොගැනීම අනාගතයේ රට හමුවේ බරපතල ගැටලු නිර්මාණය කිරීමට හේතු සපයනු ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙරටු කොටගත් මෙරට වෛද්‍ය ප්‍රජාව මෙය ලාංකේය වෛද්‍ය උපාධියට එල්ල කෙරෙන මරු පහරක්‌ සේ හුවා දක්‌වයි. එසේම බාල ගණයේ වෛද්‍ය උපාධි ඔස්‌සේ වෛද්‍යවරුන් නිර්මාණය කිරීමෙන් මෙරට රෝගීන්ගේ ඉරණම ෙ€දනීය මරණයකින් කෙළවර වන්නේ යෑයි ඔවුහු හ`ඩනඟති. මෙරට ජාතික විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල ශිෂ්‍යයින් පෙරටු කොටගත් ඔවුන්ගේ දෙමව්පියන් හා දහස්‌ ගණනක්‌ වූ පොදු ශිෂ්‍යයන් වීදී බසිමින්, සටන් පාඨ කියමින් කෑම මොර දෙන්නේ මාලඹේ සයිටම් හොර වෛද්‍ය උපාධි කඩය වසා දමන ලෙස රජයට බල කරමිනි. එමෙන්ම වෛද්‍ය උපාධිය මුදලට විකුණා රෝගීන්ගේ ජීවිත විනාශ නොකරන ලෙසද ඔවුහු බලධාරීන්ට මතක්‌ කර දෙති. වෛද්‍යවරුන්ටත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත් පක්‍ෂ ඇතැම් වෘත්තීය සංවිධාන සයිටම් වසා දමන්නට හෝ එය ක්‍රමානුකූල වූ විනිවිද වූ සියලු දෙනාට පිළිගත හැකි වූ විශ්වසනීය වූ ක්‍රමවේදයකට හා යම් ප්‍රමිතියකට යටත්ව පවත්වාගෙන යුතු බව අවධාරණය කරමින් සිටියි.

නමුත් සයිටම් ප්‍රශ්නයට මැදිවී සිටින රජය, විපක්‍ෂය, වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශිෂ්‍ය ප්‍රජාව, දෙමාපියන් හා සෙසු වෘත්තීය සංවිධාන යන මේ කිසිදු පාර්ශවයක්‌ නම්‍යශීලී නැත. මේ කිසිදු පාර්ශවයකට මේ ස`දහා ස්‌ථිරසාර විස`දුමක්‌ සෙවීමට අවශ්‍ය නැත. මේ සෑම පාර්ශ්වයක්‌ම කටයුතු කරන්නේ තම බලය රැකගැනීමටත් තමාට වාසි සහගත ලෙස මෙය විස`දා ගැනීමටත් ය. නමුත් රටක පැන නගින පොදු ප්‍රශ්න එලෙස විසඳිය නොහැකිය ඒ ස`දහා සියලු පාර්ශ්වයන්ගේ අවංක කැපවීම අත්‍යවශ්‍ය වේ.

සෞඛ්‍ය ඇමැතිවරයා වෛද්‍ය නිලධාරී සංගමයටත්, වෛද්‍ය නිලධාරී සංගමය ඇමැතිවරයාටත් දෙවැනි වීමට කැමති නැත. මේ දෙපාර්ශ්වයම ජනතාව අතර හෑල්ලුවටතA, හාස්‍යයටත් ලක්‌ වී ඇති ආකාරය පෙනෙන්නට තිබේ.

ප්‍රජාව ඉදිරියේ හෑල්ලුවට, අපවාදයට බ`දුන් වූ වෛද්‍යවරයා හෙට දින රෝගීන් අභිමුවට ගොස්‌ ප්‍රතිකාර කරන්නේ කෙසේද යන්න සිහිතබා ගත යුතු ය. එමෙන් ම වෛද්‍යවරුන් කෑ මොර දුන්න ද මෙය දැනට පවතින්නේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රශ්නයක්‌ වශයෙන් නොවන බව අපගේ වැටහීමයි. මෙය මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පැවත එන සිය ගණනක්‌ වූ ප්‍රශ්න අතර එක්‌ ප්‍රශ්නයක්‌ පමණි.

අධ්‍යාපනය පිළිබ`ද මෙම ගැටලුව රටේ උණුසුම් දේශපාලන ප්‍රශ්නයක්‌ සේ සෞඛ්‍ය ප්‍රශ්නයක්‌ සේ කරලියට පැමිණියේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැනි බලවත් ක්‍රියාකාරී සංගමයක්‌ මෙහි කොනකට සම්බන්ධ බැවිනි. මෙය වෛද්‍ය උපාධියට හා වෛද්‍ය වෘත්තීයට අදාළ ප්‍රශ්නයක්‌ නොවන්නට සෙසු අධ්‍යාපන ප්‍රශ්න මෙන් කාලයේ වැලිතලාවෙන් වැසීයැමට ඉඩ තිබුණි. මෙරට පාසල් අධ්‍යාපන පද්ධතියේ හෝ උසස්‌ අධ්‍යාපනයේ පවතින ගැටලු විසඳා ගැනීමට මෙවැනි ''කුලප්පුවක්‌'' නොවීම කනගාටුවට කරුණකි. එය ජාතියේම අවාසනාවකි.

ලංකාවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විශිෂ්ට නිෂ්පාදන වන්නේ වෛද්‍යවරයන්, ඉංජිනේරුවන්, කළමනාකරුවන් යන්න මෙරට ප්‍රජාව අතර මුල් බැසගත් අදහසකි. බොහෝ දෙමව්පියන්ගේ සිහිනය වන්නේ තම දරුවා වෛද්‍යවරයෙක්‌ බවට පත් කිරීමයි. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ට අයුරින් සමත් වන සිසුවා දකින්නේද වෛද්‍යවරයෙක්‌ වීමේ හීනයයි. නමුත් ලංකාව වැනි රටකට වාර්ෂිකව වෛද්‍යවරුන් විශාල ප්‍රමාණයක්‌ බිහි කිරීම අපහසු බැවින් මෙම වෘත්තියට ප්‍රවේශ වීමේ සුදුසුකම්වල විවිධ සීමා පනවා තිබේ. නමුත් දෙමාපියන්ගේත් දරුවන්ගේත් වෛද්‍ය සිහිනයට සීමා දමන්නේ කෙසේද? සාමාන්‍ය පෙළ හෝ උසස්‌ පෙළ යාන්තමින් සමත් වූ සැණින් ඔවුන් විශාල ධනස්‌කන්ධයක්‌ වැය කරමින් වුවත් සිය දරුවා විදෙස්‌ රටවල වෛද්‍ය විද්‍යාව හැදෑරීම ස`දහා යොමු කරන්නේ වෛද්‍යවරයකු වීමේ හීනය විනාශ කර ගැනීමට අකමැති බැවිනි. ඒ අනුව රුසියාව, බංගලාදේශය, නේපාලය, ඉන්දියා, චීනය වැනි රටවලට ගොස්‌ වෛද්‍ය සිහිනය යථාර්ථයක්‌ කරගැනීමට ඔවුහු කටයුතු කරති. මොවුන් පෞද්ගලිකව වෛද්‍ය උපාධිය ලබා ගත්ත ද ඒ ස`දහා රැකියාව අපේක්‍ෂා කරන්නේ රජයෙනි. ඒ අනුව ඔවුන්ට ද රජය රැකියා ලබාදිය යුතු ය.

පසුගිය රජය zසයිටම්Z ආයතනය ආරම්භ කරන්නේ මෙකී ඉල්ලුමට සැපයීමක්‌ වශයෙන් යෑයි කියනු ලැබේ. නමුත් සයිටම් ස`දහා සිදු කළ ශිෂ්‍ය බ`දවා ගැනීම් කිසිදු ප්‍රමිතියකට යටත්ව සිදු කළ නොමැති බව මේ පිළිබ`දව එල්ල වන ප්‍රධාන විවේචනයකි. රටක දියුණුවට සාපේක්‍ෂව එහි අධ්‍යාපන අවස්‌ථා ද පු`ඵල් විය යුතු ය. ඒ අර්ථයෙන් ගත් කල සයිටම් වැනි පෞද්ගලික හිමිකාරිත්වයක්‌ සහිත අධ්‍යාපන ආයතන ඉදිරියේදී බිහිවීම වැළැක්‌වීමට හැකියාවක්‌ නැත. එමෙන්ම එවැනි අවස්‌ථා වැළැක්‌විය යුතු ද නැත. රජය සහ වෛද්‍ය සංගම් කළ යුතු වන්නේ එක්‌සත්ව මේ යථාර්ථයට මුහුණදීමයි. ඒ අනුව දෙපාර්ශවය ම එක`ග වී විධිමත් ක්‍රමානුකූල උසස්‌ ප්‍රමිතියෙන් යුතු වෛද්‍ය උපාධියක්‌ නිර්මාණය කිරීම කෙරෙහි කටයුතු කළ යුතුය.

වෛද්‍ය උපාධිය රජයේ විශ්වවිද්‍යාලයකින් ලබා ගත් පමණින් උසස්‌ වෛද්‍යවරයෙක්‌ බිහි නොවේ. එය ප්‍රමිති සහගත විශිෂ්ට ගණයේ පෞද්ගලික උපාධි ආයතනයකින් ලබාගත් පමණින් බාල ගණයේ උපාධියක්‌ වන්නේ යෑයි කිව නොහැකි ය. වැදගත් වන්නේ, වෛද්‍යවරයා රෝගීන් සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය පමණි. ඒ අනුව මෙරට වෛද්‍ය වෘත්තියට අදාළව මෙන්ම එහි ක්‍රියාකාරිත්වයට අදාළව නොයෙකුත් ගැටලු පවතියි. වෛද්‍ය වෘත්තිය සමාජයේ ඉහළට ඔසවා තබා ඇති බැවින් එම ගැටලු සෙසු වෘත්තීය ගැටලු මෙන් සාමාජයේ සාකච්ඡාවට ගැනෙන්නේ නැත.

මෙරට උසස්‌ අධ්‍යයන ක්‍ෂේත්‍රයේ පවතින සියලු ගැටලු, වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් ද බලපා ඇත. විද්‍යා, කලා, වාණිජ උපාධි පාඨමාලා සේම රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධියේ ද ප්‍රමිතිය පිළිබ`දව ගැටලු පවත්නා බව මධ්‍යස්‌ථ මතධාරීන්ගේ අදහසයි. එනයින් බැලූ කල මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කරන පාර්ශව රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධියේ ප්‍රමිතිය සහ ගුණාත්මක බව විමසා බලා ඒවායේ තත්ත්වය ඉහළ නැංවීම පිණිස අරගල කළ යුතු ය.

මෙම සටහන නිමා කරමින් එක්‌ අදහසක්‌ අවසාන වශයෙන් ලියා තබමි. සයිටම් වෛද්‍ය උපාධියට එරෙහිව මේ සියලු සටන්, වර්ජන, උද්ඝෝෂණ ඇති කරන්නේ ''ඕනෑ කෙනෙකුට ඕනෑ ඕනෑ විදිහට වෛද්‍යවරයෙකු විය නොහැකි ය'' යන ආකල්පය නිසාය. එතරමට අපේ සමාජයේ වෛද්‍ය වෘත්තිය බලවත්ය. ඔවුන්ගේ වෘත්තීය සංවිධාන ශක්‌තිමත් ය. නමුත් මෙරට ''ඕනෑ කෙනෙකුම ඕනෑ ඕනෑ විදිහට ගුරුවරයෙකු විය නොහැකි ය'' යනුවෙන් කිසිදු සංවිධානයක්‌ පෙළපාලි යන්නේ නැත. ඒ මෙරට ගුරු වෘත්තිය තුට්‌ටු දෙකට වැටී ඇති නිසා ය. ඒ අනුව මෙරට ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් ගුරුවරයෙක්‌ විය හැකි ය. ඒ ස`දහා ඥානයක්‌, ශික්‍ෂණයක්‌, සුදුසු කමක්‌ හෝ පුහුණුවක්‌ අවශ්‍ය නොවේ. නමුත් වෛද්‍යවරයෙක්‌ බිහිකෙරෙන මූලික සුදුසුකම් සලකා බලන්නේ ගුරුවරයා ය. එහෙයින් සයිටම් වසා දැමීමට ප්‍රථම අප කළ යුතු වන්නේ ගුරුවරයාගේ තත්ත්වය ගුණාත්මකව නඟාසිටුවීමයි. මේ වෘත්තීය විෂමතාව ආකල්පමය වශයෙන් සහ ප්‍රතිපත්තිමය වශයෙන් දුරු කිරීම කටයුතු කිරීම බලධාරීන්ගේත් ප්‍රජාවේත් වගකීම වන්නේ ය.

 

 
Powered By -


    සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.