නිර්මාංශ අයට පෝෂණීය ආහාර

මස්‌ මාංශවලින් තොරව එළවළු වර්ග සහ පලතුරු වර්ග පමණක්‌ ආහාරයට ගන්නා බොහෝ දෙනෙක්‌ සිටිති. ඔවුන්ට නිසි පෝෂණයක්‌ නොලැබෙන බවට සමාජයේ පවතින මතයක්‌ තිබේ. නමුත් එහි කිසිදු සත්‍යතාවක්‌ නොමැත. ඊට හේතුව එළවළු වර්ග සහ පලතුරු වර්ග පමණක්‌ ආහාරයට ගන්නා අය පෝෂ්‍ය පදාර්ථ සහිත එළවළු සහ පලතුරු ආහාරයට ගන්නේ නම් ඔවුන්ගේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබෙන බැවිනි. නිර්මාංශ ආහාර වේලකට එකතු කර ගත හැකි නිවසේදීම පිළියෙල කර ගත හැකි රසවත් ආහාර වට්‌ටෝරු පිළිබඳ ඔබත් දැනගන්න.

කෙසෙල් මුව ක්‍රිස්‌පි

අවශ්‍ය ද්‍රව්‍ය

01. කෙසෙල් මුව 01

02. කෝන් පිටි ග්‍රෑම් 50

03. ලූනු කොළ ග්‍රෑම් 75 ක්‌ පමණ (අඟල් 1 1/2 දිගට කැපූ)

04. ඇට ඉවත් කර දිගට කපා ගත් මාළු මිරිස්‌ කරල් 03.

05. කෑලි මිරිස්‌ ග්‍රෑම් 25-30 අතර

06. සුදු ලූනු බික්‌ 03

07. බටර් හෝ මාගරින් ග්‍රෑම් 50

08. අවශ්‍ය ප්‍රමාණයට තෙල්, ලුණු, ගම්මිරිස්‌

සාදා ගන්නා ආකාරය

* කෙසෙල් මුව ගෙන එහි මෘදු කොටසින් රවුම් කපා ගන්න.

* ඉන් පසුව එයට කෝන් පිටි, ලුණු, ගම්මිරිස්‌ හා වතුර ස්‌වල්පයක්‌ දමා අතගා තෙලෙහි බැද ගන්න.

* භාජනයක්‌ ගෙන එය ළිප මත තබා එයට බටර් එකතු කර ගන්න.

* බටර් රත් වූ පසු සුදු ලූනු හා කෑලි මිරිස්‌ එක්‌කර ගන්න.

* පසුව මාළු මිරිස්‌ හා ලූනු කොළද එකතු කරගන්න.

* අනතුරුව බැදගත් කෙසෙල් මුවද ඊට එකතු කර නැවතත් අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා ගම්මිරිස්‌ එකතු කර පිළිගන්වන්න.

තුඹ කරවිල

අවශ්‍ය ද්‍රව්‍ය

* තුඹ කරවිල ග්‍රෑම් 250

* මුං ඇට ග්‍රෑම් 50

* රතු ලූනු ග්‍රෑම් 20

* අමු මිරිස්‌ ග්‍රෑම් 100

* අල ග්‍රෑම් 100

* කරපිංචා අවශ්‍ය ප්‍රමාණයට

* ලුණු හා ගම්මිරිස්‌ අවශ්‍ය ප්‍රමාණයට

සාදා ගන්නා ආකාරය

* මුලින්ම මුං ඇට හා අල තම්බා ගන්න.

* තම්බා ගත් මුං ඇට හා අල, කට්‌ලට්‌ මිශ්‍රණයක්‌ සේ සකසා ගන්න.

* රතු ලූනු, අමු මිරිස්‌ ආදිය තෙම්පරාදු කර එයට එක්‌කර ගන්න.

* කරවිල ගෙඩියේ ඇට ඉවත් කර දෙපැත්ත කපා ගන්න.

* කරවිල උණු දියේ පොඟවා ගන්න.

* ඉහත සාදාගත් මිශ්‍රණය එයට පුරවන්න.

* ඉන් පසුව ඔබේ රුචිකත්වය අනුව උකුවට සාදාගත් හොදි සහිත වෑංජනයකට එය දමා පිළිගන්වන්න.

අනුෂා ඉරෝෂනී

(අන්තර්ජාලය ඇසුරිනි.)
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.