විද්‍යා ඝාතන සැකකරු
මුදාහැරියෑයි චෝදනා
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ
නි. පොලිස්‌පති රිමාන්ඩ්

හේමන්ත රන්දුණු

යාපනයේ විද්‍යා සිසුවියගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු බව කියන ස්‌විස්‌ කුමාර් නමැත්තා මුදාහැරිය බවට චෝදනා එල්ල වූ මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඊයේ (16 දා) කයිට්‌ස්‌ වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 25 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

මිනී මැරීමේ චෝදනා ලබා සිටි අපරාධකරුවකු මුදාහැරීමට ආධාර උපකාර කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට චෝදනා එල්ල කර ඇති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාරගත කළ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා විශේෂ ආරක්‍ෂාවක්‌ යටතේ අනුරාධපුර බන්ධනාගාරය වෙත ඊයේ (16 දා) පෙරවරුවේ රැගෙන එනු ලැබීය.

විද්‍යා ශිෂ්‍යාව ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව කියන ස්‌විස්‌ කුමාර් නමැත්තා මුදාහැරීම සම්බන්ධයෙන් එවකට උතුරු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා (15 දා) දහවල් කාලයේදී හෙතෙම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්‌ථාවේය.

පසුව ඒ මහතා එදා රාත්‍රියේ කයිට්‌ස්‌ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට රැගෙන යනු ලැබීය. සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා කයිට්‌ස්‌ වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඊයේ අලුයම 5.00 ට පමණය.

සැකකාර ජයසිංහ මහතා සහ රහස්‌ පොලිසියේ නිලධාරීන් කයිට්‌ස්‌ අධිකරණයට යද්දී ඔවුන් ගමන් ගත් බෙන්ස්‌ වර්ගයේ වෑන්a රථය ඊයේ (16 දා) අලුයම කයිට්‌ස්‌ ප්‍රදේශයේදී අනතුරකට ලක්‌වී ඇත. රථය ධාවනය කරන නිලධාරියාට නින්ද යැම නිසා එය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්‌වූ අතර එහි ගමන් කළ සහකාර පොලිස්‌ අධිකාරි තිසේරා මහතා ද තුවාල ලැබීය. පසුව වෙනත් වාහනයකින් සැකකාර නි. පොලිස්‌පතිවරයා කයිට්‌ස්‌ වැඩබලන මහෙස්‌ත්‍රාත් හමුවට රැගෙන යැමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටයුතු කර ඇත. එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ලලිත් ජයසිංහ මහතාට ඇප ලබාදෙන ලෙස වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක්‌ කර තිබේ.

සැකකරුට ඇප දුන්නොත් මහජන කැළඹීමක්‌ ඇතිවිය හැකි බවත් විත්තිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි බවත් පවසමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊට සිය විරෝධය පළකර ඇත. එය සලකා බැලූ වැඩබලන මහෙස්‌ත්‍රාත්වරයා සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.

ඉකුත් 2015 වර්ෂයේ මැයි මස 13 වැනිදා විද්‍යා ශිෂ්‍යාව පැහැරගෙන ගොස්‌ අතවර කර ඝාතනය කර තිබුණේ කයිට්‌ස්‌ ප්‍රදේශයේදීය. එම සිද්ධියෙන් පසු පරීක්‍ෂණ පැවැත්වූ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන ස්‌විස්‌ කුමාර් නමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවේ යාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදීය. සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු එදිනම මුදාහරින ලෙස එවකට උතුරු පළාත භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් ජයසිංහ මහතා විසින් පොලිසියට නියෝග කර තිබිණි.

ස්‌විස්‌ කුමාර් මුදාහැරීමෙන් පසු යාපනය පුරා නොසන්සුන්තාවක්‌ ඇති වූ අතර යාපනය ජනතාව පොලිසියට එරෙහිව විරෝධතාවක්‌ ද පැවැත්වූහ. පසුව මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ වෙනත් පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් ස්‌විස්‌ කුමාර් නැවත අත්අඩංගුවට ගනු ලැබුවේ වැල්ලවත්ත ප්‍රදේශයේ සැඟව සිටියදීය.

විද්‍යා ශිෂ්‍යාව ඝාතනය සම්බන්ධයෙන් වූ නඩුව මේ වන විට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ යාපනය මහාධිකරණයේ විභාග වෙමින් පවතී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්‌විස්‌ කුමාර් ඇතුළු නවදෙනෙක්‌ මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටිති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.