අභියෝග පරදා ජනපති වෙනුවෙන්
පෙනී සිටීමට ශ්‍රීලනිපය සූදානම්
- ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක

ප්‍රියදර්ශන ලියනගේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන ගැටවලට හසුවී ආණ්‌ඩුවේ සිටින ඇමැතිවරුන් කිසිවකු හෝ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විරුද්ධව දේශපාලන වශයෙන් ප්‍රහාරයක්‌ එල්ල කිරීමට සූදානම් වුවහොත් ඒ සියලු අභියෝග පරාජයට පත්කොට ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා "දිවයින"ට ඊයේ 16 වැනිදා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්‌තිමත් කර දෙවන පෙළ නායකත්වයක්‌ ගොඩනැඟීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කරමින් සිටීම නිසා පක්‍ෂයේ අලුත් නායකයන් පිරිසක්‌ බිහිවුවහොත් තමන්ට රටේ තිබෙන තැන අහිමි වන බව දන්නා හිටපු ජනාධිපතිවරයා තමන්ගේ පවුල රැක ගැනීමට ආණ්‌ඩුවේ තරුණ දේශපාලනඥයන් පළිහක්‌ ලෙස යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

තමා බලයේ සිටියදී පක්‍ෂය තුළ දෙවැනි පෙළ නායකයන් බිහිවීමට ඉඩ නොදුන් හිටපු ජනාධිපතිවරයා අද ආණ්‌ඩුවේ සිටින ඇමැතිවරුන් කීප දෙනකු අල්ලාගෙන තමන්ගේ සිහින සැබෑ කර ගැනීමට අසාර්ථක උත්සාහයක නිරත වන බවට හෙතෙම චෝදනා කළේය.

ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලුම දෙනා අද මෙන් ඉදිරියටත් සූදානම්ව සිටින බවත් එම නිසා අවස්‌ථාවාදීන්ගේ කුමන්ත්‍රණ ලෙහෙසියෙන්ම පරාජය කිරීමට හැකි බවත් ඇමැතිවරයා පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.