මොන අභියෝග ආවත්
ආණ්‌ඩුව ඉදිරියට ගෙනයනවා
බන්දුලාල් බණ්‌ඩාරිගොඩ

චමින්ද සිල්වා

ආණ්‌ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්‌ ස්‌වාධීන වෙන්න යන බවට අසත්‍ය පතුරවන්නේ උද්ඝෝෂණ සටන් පාඨ, පාගමන් ගොස්‌ රජය පෙරළන්න බැරිවූ කිහිප දෙනකු යෑයි ගාල්ල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්‌ඩාරිගොඩ මහතා ඊයේ (16 දා) පැවැසීය.

මේ අය කුමන අභියෝග කළත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආරක්‍ෂා කරගෙන රජය ඉදිරියට ගෙන යැමට රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කටයුතු කරන බවද ඊයේ (16 දා) සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී බණ්‌ඩාරිගොඩ මහතා කියා සිටියේය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

මේ යහපාලන ආණ්‌ඩුව පසුගිය රජය ගෙන තිබූ ණය කන්දරාව ගෙවාගෙන සාර්ථකව රට ඉදිරියට ගෙන යැමට වැඩපිළිවෙළක්‌ සකස්‌ කර තිබෙනවා. එය ක්‍රියාත්මක වීමේදී දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් රැසක්‌ රටට පැමිණීමට නියමිතයි.

මේ ගැන දන්නා ඒකාබද්ධ විපක්‍ෂයේ කිහිප දෙනකු මෙම ආයෝජන නවත්වන්න රට අස්‌ථාවරයි, රජය අස්‌ථාවරයි කියන අසත්‍ය මත පතුරවනවා. අපි මේවාට බයේ වැඩ කරන්නේ නැහැ. මොන අභියෝග ආවත් මේ ආණ්‌ඩුව ඉදිරියටම ගෙනියනවා කියන එක මම කියනවා. ඒ සඳහා එක්‌සත් ජාතික පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහායත් රජයට ලැබෙනවා.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.