පොළොන්නරුව වනජීවී කලාපවල පැවැත්මට
බලපාන අහිතකර යෝජනා අකුලා ගන්න.
වනජීවී අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමය ඉල්ලයි

කරුණාරත්න ගමගේ

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ දෙවැනි කොටසට අයත් අනවසර වගා භූමිය රක්‍ෂිතයෙන් බැහැර කොට විදුලි වැට ඉදිකිරීම, ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ විල්ලු පරිසරය ආක්‍රමණය කරමින් වගා කටයුතු කරන පුද්ගලයන්ට එම ඉඩම් භුක්‌ති විඳීමට බාධා නොකිරීම සහ එම සීමාව මායිම් කණු දමා වෙන්කර දීම ඇතුළුව පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ පිහිටි වනජිවී කලාපවල පැවැත්මට අහිතකර වන අන්දමේ තීන්දු තීරණ රැසක්‌ පසුගියදා වනජීවී අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් පොළොන්නරුවේදී පැවැති රැස්‌වීමකදී ගෙන තිබෙන හෙයින් එම නීති විරෝධී යෝජනා ක්‍රියාත්මක නොකරන ලෙසට වනජීවි අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

තිරසර සංවර්ධනයක්‌ වෙනුවෙන් පෙරමුණ ගන්නා වනජීවි දෙපාර්තමේන්තුව වනජීවි සම්පත් මහජනතාවට බෙදාදීම එම සම්පත් සුරකිමින් එහි ප්‍රතිලාභ වර්තමානයේ මෙන්ම අනාගත පරපුර වෙතද දායාද කළ යුතු බව එම සංගමය පෙන්වා දෙයි.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ වනජීවි ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පසුගිය 11 දින පොළොන්නරුව, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී වනජීවි අමාත්‍යාංශයේ ලේකම්, වනජීවි අධ්‍යක්‍ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති රැස්‌වීමේදී පහත සඳහන් තීරණවලට එළැඹී ඇතැයි වනජීවි අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ඩබ්ලිව්. ජී. වීරසේන මහතාගේ අත්සනින් යුත් නිවේදනයක්‌ මගින් කියා සිටී.

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ විල්ලු පරිසරය ආක්‍රමණය කරමින් නීති විරෝධී ලෙස වගා කටයුතු කරන zපුද්ගලයන් හට එම ඉඩම් භුක්‌ති විඳීමට බාධා නොකිරීමටත් එම සීමාව මායිම් කණු දමා වෙන්කර දීමටත්, ඇලහැර ගිරිතලේ අභය භූමියේ පේක්‌කුලම ප්‍රදේශයේ අනවසර වගාකරුවන්ට ඔප්පු ලබාදීමට තීරණය කිරීමත්, ඇලහැර ගිරිතලේ අභය භූමියට සහ මින්නේරිය ගිරිතලේ ස්‌වභාව රක්‍ෂිතයට අයත් බටුවන්විල ප්‍රදේශයේ ඉවත් කිරීමට යෝජනාවී තිබූ අනවසර පවුල් 12 කට ඔප්පු ලබාදීමටත්, සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ දෙවැනි කොටසට අයත් අනවසර වගා භූමිය රක්‍ෂිතයෙන් බැහැර කොට විදුලිය වැට ඉදිකිරීමටත් මහවැලි ගඟ පහළ පවතින වැලි නිධිය ඉවත් කිරීමට ඇති හැකියාව සොයා බැලීමටත් මෙදින තීරණය වී තිබේ.

මෙම යෝජනා සම්බන්ධයෙන් එදින එම රැස්‌වීමට සහභාගිවූ ඒ ඒ කලාප භාර වනජීවී නිලධාරීන් විරෝධය පළකර ඇති බවත් පවත්නා වනජීවී අණ පනත් නීති රීතිවලට එම යෝජනා සියල්ල නීති විරෝධී බවත් වනජීවි අඩවි සහකාර වෘත්තිකයන්ගේ සංගමය පෙන්වා දෙයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.