රටේ ආරක්‌ෂාවත් ත්‍රිවිධ හමුදාවේ ගෞරවයත්
වර්ධනය කිරීමට කටයුතු කරනවා...
නව ආරක්‌ෂක ලේකම් කපිල වෛද්‍යරත්න කියයි

සිරිල් විමලසුරේන්ද්‍ර

රටේ ආරක්‌ෂාවත් ත්‍රිවිධ හමුදාවේ ගෞරවයත් වර්ධනය වන අයුරින් කටයුතු කරන බව නව ආරක්‌ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා මහනුවරදී මාධ්‍ය කළ විමසීම්වලට ප්‍රතිචාර දක්‌වමින් පැවැසීය.

පෙරේදා (15වැනිදා) දළදා වහන්සේ වැඳ පුදා මල්වතු අස්‌ගිරි මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක සුබාශිංසන ලබාගත් නව ආරක්‌ෂක ලේකම්වරයා මාධ්‍යවේදීන්ද මුණ ගැසුණි.

රටේ ආරක්‌ෂාව සම්බන්ධයෙන් විශාල වගකීමක්‌ තමන් සතු බව අවබෝධ කරගෙන සිටින බව කපිල වෛද්‍යරත්න මහතා පැවැසීය.

ත්‍රිවිධ හමුදාවේ ගෞරවය ආරක්‌ෂා කිරීමට සෑම ක්‍රියාමාර්ගයක්‌ම ගන්නා බවත් ත්‍රිවිධ හමුදාවේ නාමයට කිසිදු ආකාරයක අගෞරවයක්‌ සිදුවන කාර්යයකට නොයොදවන බවත් වෛද්‍යරත්න මහතා පැවැසීය.

උසස්‌ සේවයක්‌ ඉටුකරන ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව රටට අභිමානයක්‌ ලෙස තමා සලකන බවද හෙතෙම පැවැසීය.

තම පියාණන් පාර්ලිමේන්තුවේ උපකථානායක පදවිය හොබවා තිබෙන බවද වෛද්‍යරත්න මහතා අනාවරණය කළේය.

අස්‌ගිරි පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක වරකාගොඩ ශ්‍රී ඥනරතන ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ නව ආරක්‌ෂක ලේකම්වරයාට සුබ පතමින් රටේ ආරක්‌ෂාව සම්බන්ධ විශාල වගකීමක්‌ ආරක්‌ෂක ලේකම්වරයා සතුව තිබෙන බව පැවසූහ.

සිය වගකීම් නිසියාකාරව ඉටුකරමින් දේශයට සුවිශේෂ සේවයක්‌ ලබාදීමට වෛද්‍යරත්න මහතාට නැණ නුවණ හා ශක්‌තිය ලැබේවායි ප්‍රාර්ථනය කරන බව අතිපූජ්‍ය මහානායක ස්‌වාමින්වහන්සේ පැවැසීය.

මල්වතු පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ රටේ ජනතාවත් රාජ්‍යයත් අපේක්‌ෂා කරන සේවය වගකීමෙන් යුතුව ඉටුකිරීමට නව ආරක්‌ෂක ලේකම්වරයාට හැකි වේවායි සුබාශිංසන පිරිනැමීය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.