කිසිම ආණ්‌ඩුවක්‌ මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දුන්නේ නෑ
මේ අවුරුද්දේ ආර්ථික වශයෙන්
විඳින්න පුළුවන් හැම දුකක්‌ම වින්දා...
අගමැති රනිල් වික්‍රමසිංහ නෙළුවේදී කියයි

ගාල්ල ලලිත් චාමින්ද සහ එස්‌ කේ කළුආරච්චි, නෙළුව - සිරිසේන ගමගේ


මේ අවුරුද්දේදී ආර්ථික වශයෙන් විඳින්න පුළුවන් හැම දුකක්‌ම වින්ද බවත් කිසිම ආණ්‌ඩුවක්‌ මුහුණ නුදුන් දෙයකට ජනාධිපතිතුමා හා තමන් ඇතුළු සියලු දෙනාටම මුහුණදීමට සිදුවී ඇති බැව් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 14 දා නෙළුවේදී පැවසීය.

ගංවතුර ආපදාවට ලක්‌වූවන්ගේ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීම සඳහා නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්‌වීමට එක්‌වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.

කිසිම ආණ්‌ඩුවක්‌ මුහුණ දුන්නේ නැති එකක්‌ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටයි මටයි අප සියලු දෙනාට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා. මේ අවුරුද්දේ ආර්ථික වශයෙන් විඳින්න පුළුවන් හැම දුකක්‌ම වින්දා. අපි පටන් ගත්තේ ගිය දෙසැම්බර් මාසයේ අපේ සංවර්ධන වේගය සියයට 6 කින් වැඩි වේවි කියලා. නියඟය එක්‌ක කෘෂිකර්මය සම්පූර්ණයෙන්ම වැටුණා. විදුලි බලයට ඉන්ධනවලට අපි අලුතෙන් මුදල් වියදම් කළා. ඊළඟට ගංවතුර ආවා...... ගංවතුරෙන් වූ හානිය දල දේශීය නිෂ්පාදනයෙන් සියයට දශම පහයි. ඒ එක්‌කම මීතොටමුල්ල කුණු කන්ද වැටුණා. ඒකටත් මුදල් හොයන්න වෙලා තියෙනවා. ඩෙංගු නිසා තවත් ප්‍රශ්නයක්‌ ඇති වෙලා තියෙනවා. ඒක සමහර විට සංචාරක කර්මාන්තයටත් බලපාන්න පුළුවන්.

විශාල මුදලක්‌ අපට ණය හැටියට ගෙවන්න වෙලා තියෙනවා. මේ ඔක්‌කොම වුණත් ආර්ථක වර්ධන වේගය සියයට තුනක්‌ තුනහමාරක්‌ විතර වේවි කියලා මම හිතුවා. නමුත් මට කියන්න පුළුවන් සියයට 4.7ක්‌ නැතිනම් පහකට වුණත් යන්න පුළුවන් වේවි කියලා. පහ ගැන තාම කථා කරන්නේ නැහැ. වැට්‌ වැඩි කළා. බැනුම් ඇසුවා කරන්න දෙයක්‌ නැහැ. ඒ වගකීම ගන්න වෙනවා. දැන් අඩුගානේ පොලිය ගෙවන්න පුළුවන් ප්‍රශ්නයක්‌ නැතිව. 2020 වන විට ආර්ථිකයේ සමබරතාවයක්‌ ඇති කරලා.2025 වනවිට ආර්ථිකය පාලනය කරලා මේවා ගෙවන්න පුළුවන් තත්ත්වයකට එන්න පුළුවන්. එක පැත්තකින් තරුණ තරුණියන්ට රැකියා ලබලා දෙන්න. පුහුණුව ලබලා දෙන්න අපට තියෙනවා.

ජන ජීවිතය ඉතා කෙටි කාලයකින් යථා තත්ත්වයකට ගෙන එම තමයි අපේ අරමුණ. ජන ජීවිතය කියලා කියන්නේ පාරවල් හදලා නිවාස හදලා එවා යථා තත්වයට පත්කිරීම පමණක්‌ නෙවෙයි. ආර්ථිකයත් යථා තත්ත්වයට පත් කරන්න ඕන. මේ ප්‍රදේශවල සුළු ව්‍යාපාර තියෙන තැන්වලට මුදල් ලබා දෙනවා නම් ආර්ථිකය දියුණු වෙනවා. ජනතාවගේ අතේ යම් කිසි මුදලක්‌ තියෙනවානම් ජනතාව දියුණු වෙනවා. ජනතාව එක්‌ක තමයි මේ ගමන ඉදිරියට පුළුවන් වන්නේ. 2003 ගංවතුර අවස්‌ථාවේත් ජනතාවගේ ජන ජීවිත යථා තත්ත්වයට පත් කරන්න අපි කටයුතු කළා. ග්‍රාමීය ආර්ථිකය කෙරෙහි අපේ අවධානය යොමු කළ යුතුයි. අපි විශාල ව්‍යාපාරවලට මුදල් ආධාර දීලා තියෙනවා. කුඩා ව්‍යාපාර කුඩා සංචාරක ව්‍යාපාර කුඩා තේ වතු, සත්ව පාලනය, කුරුඳු වගාව ඒ සියල්ල ක්‍රියාත්මක කළ යුතු වෙනවා.

මේ ආපදාවෙන් පසු පළමු මාසයේදීම හුඟක්‌ ප්‍රතිඵල ඇතිවුණා. වෙන කවරදාටත් වඩා ආර්ථිකය ක්‍රියාත්මක කරන එක හා ජනතාවගේ ජන ජීවිත වෙන කවර කාලයකටත් වඩා යථා තත්ත්වයට පත්කරන්න අපට හැකිවෙලා තියෙනවා.


මේ ආපදාවේදී ඒ සඳහා නායකත්වය අරගෙන ක්‍රියා කළ පරිපාලන නිලධාරීන්ට අනිකුත් නිලධාරීන්ට පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට අපි ස්‌තුති කරනවා. ආපදාවට ලක්‌වූ දිස්‌ත්‍රික්‌කවල සියලු නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව. දුරකථන දීමනාව, ගමන් වියදම් දීමනාව, මාස තුනක කාලයක්‌ සඳහා දෙගුණයකින් ලබාදීමට කටයුතු කරනවා. මේක බලපාන්නේ පරිපාලන අංශයට පමණයි. ඒ නිසා මේ දීමනාව පොලිසියට හා ත්‍රිවිධ හමුදාවටත් ලබා දෙන්න කියලා මා දැනුම් දීලා තියෙනවා. නලින් හේවගේ මන්ත්‍රීතුමා කියපු විදියට පරිසරය ආරක්‌ෂා කරන්නේ නැතිව මුකුත් කරලා වැඩක්‌ නැහැ. විශේෂයෙන්ම ගංවතුර තිබූ ප්‍රදේශ දිහා බලනවා. රක්‌වාන, දෙනියාය, හිනිදුම, කලවාන, අගලවත්ත, සිංහරාජ වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශ. එතනින් තමයි ප්‍රධාන ජල මාර්ග කිහිපයක්‌ ගලා බසින්නේ. ඒ නිසා වනාන්තර පරිසරය හා ජල මාර්ග ආරක්‌ෂා කිරීමට කටයුතු කළ යුතු වෙනවා. එවිට තමයි මේ ප්‍රදේශ ආරක්‌ෂා වන්නේ. මේ ප්‍රදේශ සඳහා ඒකාබද්ධ සංවර්ධන සැලැස්‌මක්‌ ඇති කළ යුතු වෙනවා.

තේ වගාව දියුණු කරන්න පොල් කර්මාන්තය දියුණු කරන්න ග්‍රාමීය මට්‌ටමේ පහසුකම් ලබා දෙන්න. අවධානය යොමු කළ යුතු වෙනවා. මත්තල ගුවන්තොටුපොළ තිබෙන නිසා අපනයන ආර්ථිකයකට අපට යොමුවෙන්න පුළුවන් පරිසරය ආරක්‌ෂා කරගෙන සංවර්ධන කටයුතු කළ යුතුයි.

මේ ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරයට විශේෂ තැනක්‌ ලබා දෙන්න ඕන. ගුවන් තොටුපළවල් දෙකක්‌ හැදෙනවා. වරායවල් දෙකක්‌ හැදෙනවා. ගාල්ල තංගල්ල වගේ වරායන් කුඩා බෝට්‌ටු ගේන්න පුළුවන්. මේක දියුණු වන්නේ අපි පරිසරය ආරක්‌ෂා කළා නම් පමණයි. මාතර සිට පිටබැද්දර දක්‌වා සංචාරකයන්ගේ පරාදීසයක්‌ බවට පත්කිරීම අපේ අරමුණයි. පරිසරය ආරක්‌ෂා කළ යුතුයි. සංචාරකයන් එන්නේ පරිසරය ආරක්‌ෂා කළා නම් පමණයි. සංචාරක ව්‍යාපාරය නිසා මේ ප්‍රදේශවල කුඩා නිවාසවල හිමිකරුවන්ට ආදායම් ලැබෙනවා. හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපළ ආපසු ලාභ ලබන තත්ත්වයට පත් කරලා. හම්බන්තොට මොණරාගල කර්මාන්ත ඇති කරලා ගාල්ල හා මාතර විශාල සංචාරක පුරවර බවට පත්කරනවා. ඒ අතර කෘෂිකර්මය දියුණු කරලා ආදායම් මාර්ග ඇති කරන්න කටයුතු කරණවා. දකුණේ විශාල දියුණුවක්‌ ඇති වෙනවා. අපි බලාපොරොත්තු වන්නේ හැම පාසල් දරුවෙකුටම වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කරනවා යෑයිද අගමැතිවරයා මෙහිදී පැවසීය.

දකුණු පළාත් ප්‍රධාන ඇමති ෂාන් විඡේලාල් ද සිල්වා මහතා.

අපට ස්‌වභාවික විපත් අමුතු දෙයක්‌ නෙවෙයි. නමුත් ගිංගඟ මිටියාවතේ ජනතාව ගංවතුර ෙ€දවාචකයට නිරන්තරයෙන් මුහුණ දෙනවා. දැන් ඒක භයානක තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේ සඳහා ස්‌ථිරසාර විසඳුමක්‌ ඉදිරි අනාගතය තුළදී අපි ඇති කරගතයුතු වෙනවා. වජිර අබේවර්ධන ඇමැතිතුමා ගංවතුර අවස්‌ථාවේ දී පළාත් සභාව සමග ඉතා සමීපව වැඩ කළා. ඒ ගැන විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. පළාත් සභාවේ සංවර්ධන සැලැස්‌ම අපි 2017 වර්ෂයේදී වෙනස්‌ කළා. ගංවතුර නායයැමේ තත්ත්වයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන්. සමහර පාසල් ගොඩනැඟිලි ආයතන නිරන්තර ගංවතුරට ලක්‌වෙනවා. ඒ නිසා ඉදිරි අනාගතයේදී ඒ ආයතන වෙනත් ස්‌ථානවල ස්‌ථාපිත කිරීම සඳහා දීර්ඝ කාලීන සැලැස්‌මක්‌ හැටියට අවධානය යොමු කළ යුතුවෙනවා.

ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ගයන්ත කරුණාතිලක මහතා.

ගංවතුරක්‌ ආවා. ඒ සඳහා මුහුණ දුන්නා. මේ ආපදා අවස්‌ථාවේ රජයක්‌ වශයෙන් ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු සියලු දෙනා ඉතා කාර්යක්‍ෂමව විපතට පත්වූවන්ගේ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සදහා කටයුතු කළා. නැතිවු ජීවිත හැර අනික්‌ සියලු දේවල් ලබා දීමට ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් තීන්දු කළා. ඒක තමයි දැන් සිදුවෙමින් පවතින්නේ.

ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, දකුණු පළාත් අධ්‍යාපන ඇමති චන්දිමා රාසපුත්‍ර, ගාල්ල දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රීවරුන් වන විඡේපාල හෙට්‌ටිආරච්චි, බන්දුලාල් බණ්‌ඩාරිගොඩ, හිටපු ඇමති පියසේන ගමගේ, මුදල් අමාත්‍යංශයේ ලේකම් සමරතුංග, ගාල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් එස්‌. ටී. කොඩිකාර යන මහත්වරු ඇතුළු නිලධාරින් මේ සඳහා එක්‌ව සිටියහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.