නෙවිල් ප්‍රනාන්දු, රෝහල රජයට පවරන්නේ "සයිටම්" සායනික පුහුණුව වැඩි දියුණු කරන්නයි
- "සයිටම්" සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු



දකුණු ආසියානු කලාපීය තාක්‍ෂණ හා වෛද්‍ය පෞද්ගලික ආයතනය හෙවත් සයිටම් පෞද්ගලික වෛද්‍ය පීඨයට අනුබද්ධ මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පැවරීමට එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා කළ යෝජනාවට රජය එකඟ වීමත් සමඟ එය රජයට පවරා ගැනීම සිදුවේ.

තම රෝහල රජයට පැවරීම සම්බන්ධව සිය අදහස්‌ දැක්‌වීමට වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා "දිවයින" සමඟ පිළිසඳරකට එක්‌විය. එහිදී "දිවයින" අසනු ලැබූ ප්‍රශ්නවලට ඒ මහතා ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - සයිටම් පෞද්ගලික වෛද්‍ය පීඨය සඳහා ඉදි කළ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පැවරීමට තීරණය කළේ ඇයි?

පිළිතුර - මම මෙම රෝහල 2013 වසරේ ඉදි කළේ මා ආරම්භ කළ සයිටම් පෞද්ගලික වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා.

ඊට හේතු වුණේ සයිටම් හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවනට හෝමාගම මහ රෝහලේදී සායනික පුහුණුව ලබාදීමට රජය එකඟ වුණත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් විසින් අපේ ළමයින්ට පුහුණුවීම් කටයුතුවල යෙදීමට ඉඩ නොදී එලවා දැමීමයි.

හෝමාගම රෝහලේ සායනික පුහුණුව ලබාදීම වෙනුවෙන් රජයට වසරකට රුපියල් කෝටි 20 ක්‌ ගෙවීමට අප එකඟ වුණා. නමුත් අපේ ළමයින්ට එම අවස්‌ථාව ලබා ගැනීමට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් ඉඩ දුන්නේ නැහැ.

ඒ අනුව මම ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 300 ක මුදලක්‌ ණයට ගෙන නෙවිල් ප්‍රනාන්දු රෝහල හැදුවා. එහි නේවාසිකව රෝගීන් දහසකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇඳන් දහසක්‌ සඳහා ඉඩ පහසුකම් තිබෙනවා. නමුත් දැනට එහි ඇඳන් 700 ක්‌ පමණයි පවත්වාගෙන යන්නේ.

සී. ටී. ස්‌කෑන්, එම්. ආර්. අයි ස්‌කෑන්, එක්‌ස්‌ රේ, ඇතුළු සියලු පරීක්‍ෂණ පහසුකම්වලින් රෝහල සමන්විතයි. මෙහි ශල්‍යාගාර 06 ක්‌ තියෙනවා.

සෑම වෛද්‍ය ක්‍ෂේත්‍රයකම විශේෂඥ වෛද්‍යවරු මෙහි රෝගී සත්කාරක කටයුතු සඳහා පැමිණෙනවා.

සියලුම වෛද්‍ය සායන පවත්වනවා. මගේ රෝහල තමයි ලංකාවේ තියෙන විශාලම පෞද්ගලික රෝහල.

සයිටම් වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවනට ලබාදෙන සායනික පුහුණුව ප්‍රමාණවත් නැහැ කියලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව දැනුම් දී ඇති නිසා මෙය රජයට පවරා රෝගීන් වැඩි ප්‍රමාණයකට මෙහි ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්‌ථාව ලබාදීමට මම තීරණය කළා.

ඒ අනුව තමයි මෙම රෝහල රජයට පැවරීම සිදු වන්නේ.

ප්‍රශ්නය - ඔබ මෙය රජයට පවරන්නේ රුපියල් කෝටි 300 ක බැංකු ණයක්‌ සමඟයි. එම මුදල ගෙවිය යුත්තේ රජයද?

පිළිතුර - නැහැ. රෝහල රජයට පැවරුවත් බැංකු ණය මුදල ගෙවිය යුත්තේ මමයි. දැනට රුපියල් කෝටි 100 ක්‌ ගෙවලා තියෙනවා. ඉතිරි කෝටි 200 ඉදිරි වසර 10 ක කාලය තුළදී ගෙවිය යුතුයි. මම එම මුදල ගෙවන්නේ සයිටම් වෛද්‍ය පීඨය තුළින් ලැබෙන මුදල්වලින්. ඒ නිසා රෝහල රජයට පැවරුවත් එහි පාලන අධිකාරියේ සභාපතිවරයා ලෙස මම කටයුතු කරනවා.

ප්‍රශ්නය - රෝහල රජයට පැවරූ පසු සයිටම් ශිෂ්‍ය ශිෂ්‍යාවනට ප්‍රමාණවත් සායනික පුහුණුවක්‌ ඉන් ලැබේ යෑයි කියා ඔබ සිතනවාද?

පිළිතුර - සයිටම් වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවනට ලැබෙන සායනික පුහුණුව සම්බන්ධව ගැටලුවක්‌ නැහැ. දැනටමත් එම දරුවන්ට ලංකාවේ තියෙන පෞද්ගලික රෝහල්වලින් සායනික පුහුණුව ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

මෙතන තිබෙන ගැටලුව පෞද්ගලික වෛද්‍ය පීඨයක්‌ ඇති කිරීම සම්බන්ධ විරෝධයක්‌ පමණයි.

ප්‍රශ්නය - නමුත් සයිටම් වෛද්‍ය පීඨය ආරම්භ කර ඇත්තේ නිසි ප්‍රමිතියකට නොවේ යෑයි කියා චෝදනාවක්‌ තිබෙනවා නේද?

පිළිතුර - 2009 වසරේදී මෙම වෛද්‍ය පීඨය පටන් ගන්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් අවසරය ඉල්ලා සිටි මොහොතේ එවකට එහි සිටි සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක මහතා පැවසුවේ ලංකාවේ පෞද්ගලික වෛද්‍ය පීඨ ආරම්භ කිරීම සඳහා නීති නැහැ කියලා.

ඒ අනුව මම රුසියාවේ නිස්‌නි නොව්ගෝඩ් වෛද්‍ය පීඨය සමඟ (Nizhny Novgorod state Medical Academy Russia) එක්‌ව සයිටම් වෛද්‍ය පීඨය ආරම්භ කළා. ඒ අනුව පළමු වසර 03 ලංකාවේ ඉගැන්වීම් කටයුතුත් ඉතිරි වසර 02 රුසියාවේ ඉගැන්වීම් කටයුතුවලත් නිරත විය යුතුයි. ඉන් පසු ලංකාවේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරනවා නම් වෛද්‍ය සභාව මගින් පවත්වන විභාගයට පෙනී සිට වෛද්‍ය උපාධිය (MBBS) ලබාගත යුතු වෙනවා.

එම කොන්දේසි මත අප පළමු කණ්‌ඩායම බඳවා ගත්තා. ඔවුන් ද අදාළ කොන්දේසිවලට යටත්ව ඉගෙනුම ලැබුවා.

2013 වසරේදී වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කළ මහාචාර්ය ලලිතා මෙන්ඩිස්‌ මහත්මිය අපට දැනුම් දුන්නා ලංකාවේම වෛද්‍ය උපාධිය ලබාගෙන වෛද්‍ය වෘත්තියේ නිරත වීමට අවශ්‍ය අනුමැතිය ලබා දිය හැකි බවට. ඒ අනුව ලැබුණු අනුමැතිය අනුව 2013 වසරේ සිට අප ලංකාවේම වෛද්‍ය උපාධිය ලබා දීම සඳහා ඉගැන්වීම් කටයුතු ආරම්භ කළා. එහිදී අප වෛද්‍ය පීඨයට බඳවා ගැනීමේ අවම සුදුසුකම් ලෙස උසස්‌ පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබා සම්මාන සාමාර්ථ දෙකක්‌ (සී) සහ සාමාන්‍ය සාමාර්ථයක්‌ (එස්‌) තිබිය යුතු බව තීරණය කළා. දැනට සයිටම්හි ඉගෙනුම ලබන්නේ එම අවම සුදුසුකම්වලට වඩා ඉහළ සුදුසුකම් තියෙන දරුවන්.

මෙම දරුවන්ට ඉගෙනුම සඳහා අවශ්‍ය නවීනතම පහසුකම් ලබාදී තිබෙනවා.

ශල්‍යාගාරයක සිදු කරන සැත්කම් සජීවීව දේශන ශාලාවේ සිට නැරඹීමට හැකි පහසුකම් සපයා තිබෙනවා. නවීන පහසුකම්වලින් යුත් පුස්‌තකාලයක්‌ තිබෙනවා. එහි ඇති "වයිµයි" පහසුකම් අනුව ළමුන්ට තම නිවසේ සිට පුස්‌තකාල පහසුකම් ලබාගත හැකියි. මෙම පහසුකම් රජයේ වෛද්‍ය පීඨවලත් නැහැ.

වෛද්‍ය පීඨයේ අධ්‍යාපන කටයුතු මෙහෙය වීමට ස්‌ථීර සේවයේ යෙදෙන මහාචාර්යවරුන් පස්‌ දෙනකුගෙන් යුත් මණ්‌ඩලයක්‌ පත්කර තිබෙනවා.

ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය දීපාල් වීරසේකර, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය දීප්ති සමරසේන, මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නෙවිල් පෙරේරා, කායික විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය කෝලිත සෙල්ලහේවා සහ මනෝ වෛද්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රංජිත් ජයවර්ධන යන මහත්වරු එම මණ්‌ඩලයේ සාමාජිකයන් ලෙස කටයුතු කරනවා.

විශේෂඥ වෛද්‍යවරුන් 25 ක්‌ පමණ දේශන සඳහා පැමිණෙනවා.

මෙම වෛද්‍ය පීඨයේ ප්‍රමිතිය නැහැ කියා චෝදනා කරන අයගේ එක තර්කයක්‌ තමයි මෙය සෞඛ්‍ය විද්‍යා ආයතනයක්‌ (Health Science) ලෙස අනුමැතිය ලබා තියෙන්නේ කියලා. නැගෙනහිර වෛද්‍ය පීඨයත් අනුමැතිය ලබා තියෙන්නේ සෞඛ්‍ය විද්‍යා ආයතනයක්‌ ලෙසයි.

මම මෙම වෛද්‍යපීඨය ආරම්භ කරන්න හේතු වුණේ 2007 වසරේදී උසස්‌ අධ්‍යාපන ඇමැති ලෙස කටයුතු කළ මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා ප්‍රකාශ කළ කරුණක්‌ අනුවයි.

ඔහුගේ ප්‍රකාශය අනුව වසරකට උසස්‌ පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ලක්‍ෂ දෙකහමාරක පමණ පිරිසෙන් රජයේ විශ්වවිද්‍යාල පහසුකම් ලබන්නේ 18,000 ක්‌ පමණ පිරිසක්‌ පමණයි.

නමුත් ලක්‍ෂයක්‌ පමණ දරුවන් විභාගය සමත් වෙනවා.

මේ අයට ඉගෙනුම ලබන්න පහසුකම් ඇති ආයතනයක්‌ පිහිටුවිය යුතුයි කියා සිතා මම මුලින්ම සයිටම් ඉංජිනේරු සහ කළමනාකරණ විශ්වවිද්‍යාල ආරම්භ කළා. ඒ අතර ලැබුණු ඉල්ලීම් අනුව තමයි වෛද්‍ය පීඨයක්‌ ආරම්භ කළේ.

අපේ දරුවන් පිටරට වෛද්‍ය පීඨවලට ගිහින් ඉගෙන ගන්නවා. එහි තියෙන ප්‍රමිතිය ගැන කවුද හොයලා බලන්නෙ.

මට මුදල් හම්බ කරන්න අවශ්‍ය නම් අධ්‍යාපන ආයතන ආරම්භ කරන්න අවශ්‍ය නැහැ. දැනටමත් මා සතුව වෙනත් ව්‍යාපාර තිබෙනවා.

මම වෛද්‍යවරයෙක්‌. අපේ පවුල්හි වෛද්‍යවරු 15 ක්‌ ඉන්නවා. මට අවශ්‍ය උගත් දරුවන්ගේ අනාගතය යහපත් කරන්නයි.

ප්‍රශ්නය - ඔබ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පැවරීම හා සමානව ඉදිරියේදී සයිටම් වෛද්‍ය පීඨයත් රජයට පැවරීමට පියවර ගන්නවාද?

පිළිතුර - නැහැ. එය එහෙම රජයට පවරන්න බැහැ. මෙය ආයෝජන මණ්‌ඩල ව්‍යාපෘතියක්‌ ලෙස පටන් ගෙන තියෙන්නෙ. මේ සඳහා මුදල් යොදවා තියෙන්නෙ මම. එය බැංකුවලින් ලබාගත් ණය මුදලක්‌ නෙවෙයි.

ආයෝජන මණ්‌ඩල ව්‍යාපෘතියක්‌ රජයට පවරන්න හෝ වසා දමන්න ගියොත් ඉදිරියේදී ලංකාවේ ආයෝජන කටයුතුවල යෙදෙන්න ආයෝජකයෝ බිය වෙනවා. දැනටමත් තව පෞද්ගලික වෛද්‍යපීඨ කිහිපයක්‌ ලංකාවේ ආරම්භ කරන්න ආයෝජකයෝ සූදානමින් ඉන්නවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් මට සහතික වුණා සයිටම් වෛද්‍ය පීඨය පවත්වාගෙන යැම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන බවට.

මම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට කියන්නේ පෞද්ගලික වෛද්‍ය පීඨවලට විරෝධය පාමින් රජයේ වෛද්‍ය පීඨවල ඉගෙනුම ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොකර රට තුළ හොඳ වෛද්‍ය අධ්‍යාපනයක්‌ ඇති කිරීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීමට කටයුතු කරන ලෙසටයි.

රජයේ වෛද්‍ය පීඨවල දරුවන්ට ඉගෙනුම ලබන්න බාධා කිරීමෙන් වන්නේ එම දරුවන්ගේ අනාගතය අඳුරු වීමයි. සයිටම් වෛද්‍ය පීඨයේ දරුවන් සුපුරුදු විදිහට අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා.

සාකච්ඡා කළේ - උපාලි ද සේරම්
පිංතූර - ධර්මසේන වැලිපිටිය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.