ජනවාරි 08 වැනිදා ලැබුණු තෑග්ග මොකක්‌ද?
කුණු කන්දට වඩා ණය කන්දක්‌ හම්බ වුණා

බන්දුලාල් බණ්‌ඩාරිගොඩ සිරිකොතේදී කියයි

චමින්ද සිල්වා


2015 ජනවාරි 08 වැනිදා නව රජය භාරගන්නා විට මීතොටමුල්ල කසළ කන්දට වඩා විශාල ණය කන්දක්‌ තෑග්ගක්‌ ලෙස ලැබුණු බව ගාල්ල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්‌ඩාරිගොඩ මහතා ඊයේ (16 දා) පැවැසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (16 දා) සිරිකොත පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

ආණ්‌ඩුවේ මන්ත්‍රී පිරිසක්‌ ස්‌වාධීන වීමට උත්සාහ දරන බවට ඇතැමුන් ප්‍රකාශ කර තියෙනවා. මේ වගේ ප්‍රකාශ කරන්නේ රාජපක්‍ෂ පවුලේ අය බලයේ සැමදා සිටිය යුතුයි කියන පිරිසකුයි. ඒ අයගේ එකම පරමාර්ථයත් එයයි.

උද්ඝෝෂණ, සටන් පාඨ, පා ගමන් ඇතුළු විවිධ උපක්‍රම හරහා යහපාලන රජය පෙරළා දැමීමට උත්සාහ කර ඒවා අසාර්ථක වීම නිසා දැන් අසත්‍ය ප්‍රකාශ කරමින් රට අස්‌ථාවර කරන්න උත්සාහ ගනිමින් ඉන්නවා. යහපාලන රජය බලයට පත්වී වසර දෙකහමාරක පමණ කාලය තුළ පසුගිය රජය ලබාගෙන තිබූ ණය කන්ද ගෙවාගෙන රට යහමගට ගෙනයමින් සිටිනවා.

මේ වන විට රජය දේශීය හා විදේශීය ආයෝජකයන් රටට ගෙන්වා ගෙන නව ආයෝජන ඇති කිරීමට උත්සාහ දරන වකවානුවේ රට ස්‌ථාවර නැහැ. රජය ස්‌ථාවර නැහැ කියලා එම ආයෝජන නවත්වන කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කිරීමට ඇතැමුන් උත්සාහ දරනවා. මේ වෙලාවේ අපි කියන්නේ මොන කුමන්ත්‍රණ දියත් වුණත් රට ස්‌ථාවරයි. රජය ස්‌ථාවරයි කියන එකයි. අපි මේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආරක්‍ෂා කරගෙන රජය ඉදිරියටම ගෙනියනවා.

මේ වන විට රජය ජාත්‍යන්තරයේ අපේ රට තිබූ තැනින් ඉදිරියට ගෙනවිත් ඒ අයගේ විශ්වාසය ගොඩනඟා ගෙන තියෙනවා. ජී.එස්‌.පී. සහනය යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කරගෙන තියෙනවා. මේ සහන හරහා අපේ රටට නව ආයෝජකයෝ එන්න පටන් අරන් තියෙනවා. මේවා අධෛර්යමත් කිරීමට ඇතැමුන් උත්සාහ දරනවා.

මේ වන විට ජී.එස්‌.පී. සහනය, යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කර ගැනීමට රජය කටයුතු කර තියෙනවා. සයිටම් ගැටලුව විස¹ ගැනීමේ තැනකට ගෙන එන්න අගමැතිවරයා කටයුතු කර තිබෙනවා. නෙවිල් ප්‍රනාන්දු රෝහල අද (17 දා) රජයට පවරා ගන්නවා.

මේ රජය ඖෂධ වර්ග 40 ක මිල අඩු කළා. ඇස්‌ කාච නොමිලේ දීම, පිළිකා රෝගියකුට රුපියල් ලක්‍ෂ 15 ක්‌ දක්‌වා ප්‍රතිකාර ගාස්‌තු ජීවිතාන්තය දක්‌වාම ලබාදීම, හෘද රෝගීන්ට ස්‌ටෙන්ස්‌ නොමිලේ බෙදීම, ගෑස්‌, පෙට්‍රල්, භූමිතෙල් මිල අඩු කිරීම, විදේශ රැකියා 2,68,000 ක්‌, දේශීය රැකියා 1,17,000 ක්‌ සෑදීම රජයේ සේවක වැටුප රුපියල් 10000 කින් වැඩි කිරීම ඇතුළු සහන රැසක්‌ මේ රජය ලබාදී තිබෙනවා.

1948 සිට රජය ණය ගෙන තිබෙන්නේ සීයට 1, 2, 3 වැනි පොලියටයි. නමුත් 2007 වර්ෂයේ ණය ගෙන තියෙන්නේ සියයට 8, 9 පොලියටයි. මේ ණය අරගෙන කළ ඇතැම් සංවර්ධන වැඩවලින් ආදායමක්‌ නැහැ. ණය විතරයි තියෙන්නේ. පසුගිය රජය ගත්ත ණය ගෙවන්න සංවර්ධන ව්‍යාපෘතිවලට වැය කරන්න තියෙන මුදලින් සීයට 95 ක්‌ වැය වෙනවා. සෞඛ්‍යයට, අධ්‍යාපනයට, කෘෂිකර්ම ඇතුළු අනෙකුත් දේවල්වලට සීයට 5 යි වෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.