පාර්ලිමේන්තුව විකාර මඩුවක්‌ නොවේ
කට කතා බොරු
මාධ්‍යවේදීන් හිර කිරීමේ කිසිදු
පනතක්‌ ගෙන එන්නේ නෑ...

මාධ්‍යවේදී දෙදින වැඩමුළුවේදී කථානායක
කරු ජයසූරිය සහතික වෙයි

පාර්ලිමේන්තුව වෙනස්‌කම් රැසකට
භාජනය වෙමින් තිබෙනවා

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක

අජිත් අලහකෝන් - අකිත පෙරේරා


කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් අමතන අයුරු. නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, සහකාර මහ ලේකම්වරුන් වන නීල් ඉද්දවල මහතා සහ කුෂානි රෝහණධීර මහත්මියද ඡායාරූපයේ සිටිති.
සමහර මන්ත්‍රීවරුන් කෙරෙහි සමාජය තුළ තිබෙන මතය නිසා තම පියා මන්ත්‍රීවරයෙක්‌ කියා කීමට බැරි තරමේ ලැඡ්ජාවකින් ඇතැම් දරුවන් පසුවන බව කතානායක කරු ජයසූරිය මහතා පෙරේදා (14දා) ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව යනු විකාර මඩුවක්‌ නොවන බවද අලුත් ස්‌ථාවර නියෝග මගින් පාර්ලිමේන්තුවේ කටයුතු මාධ්‍යවලට වසන් කිරීමේ බලාපොරොත්තුවක්‌ නැතැයිද කතානායකවරයා කීවේය.

කතානායක කරු ජයසූරිය මහතා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සඳහා වූ ධාරිතා වර්ධන දෙදින වැඩමුළුවේ සමාරම්භක දේශනය පවත්වමිනි.

ඇමෙරිකානු ආධාර (ඹීAෂD) යටතේ කළුතර අවානි හෝටලයේදී මෙම වැඩමුළුව පැවැත්විණි.

එහිදී කතානායක කරු ජයසූරිය මහතා මෙසේද කීවේය.

මාධ්‍ය පාලනය කිරීම, මාධ්‍යවේදීන් හිරකිරීම නීතිගත කරමින් අලුතින් පනතක්‌ ගෙන එන්නට ආණ්‌ඩුව සූදානම්වන බවට කටකතා පැතිරෙනවා. එවැනි දෙයක්‌ කිසිදිනක සිදුවන්නේ නෑ. මාධ්‍යවේදීන්ගේ අයිතින් සුරැකීම සඳහා එදා අපි කඳුළු ගෑස්‌ කෑවා. අපේ වාහන පොඩිකර ගත්තා.

තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් අපි තමයි පළමුවරට පනතක්‌ ගෙනාවේ. තව අවුරුදු තුන හතරකදී තමයි එහි වටිනාකම දැනෙන්නේ. එමගින් ඉදිරියේදී රටතුළ විශාල වෙනසක්‌ සිදුවේවි. එනිසා මාධ්‍යවේදීන් තම රාජකාරිය පිළිබඳ කිසිදු බියක්‌ හෝ සැකයක්‌ ඇතිකරගත යුතු නෑ. රටක්‌ දියුණු කරන්නත්, රටක්‌ ගිනි තියා විනාශ කරන්නත් මාධ්‍යයට පුළුවන්. මාධ්‍යවේදියා කිසිම දේශපාලන පක්‍ෂයක අතකොලුවක්‌ වියයුතු නෑ. ඔවුන් සාධාරණ ලෙස වාර්තාකිරීම් කළයුතුයි.

අද ඉතා උගත් බුද්ධිමත් කණ්‌ඩායමක්‌ පාර්ලිමේන්තුව තුළ ඉන්නවා. එවන් මන්ත්‍රීවරුන්ගේ හොඳ ආදර්ශවත් කතා අපි අහනවා. ඒත් එවැනි කතාවලට මාධ්‍යයෙන් වැඩි ප්‍රසිද්ධියක්‌ ලැබෙන්නේ නෑ.

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල

රටක පාර්ලිමේන්තුවේ භූමිකාව පිළිබඳ ජනතාව දැනුවත් කරන්නේ, රට පිළිබඳ ගන්නා තීන්දු තීරණ ජනතාව හමුවට ගෙන යන්නේ මාධ්‍ය. සාමාන්‍යයෙන් විපක්‍ෂයක අරමුණ වන්නේ ආණ්‌ඩුබලය ලබාගැනීම. ඒ නිසා නිතරම ආණ්‌ඩුව විවේචනය කරනවා. ආණ්‌ඩුවක බලාපොරොත්තුව තමයි තමන්ගේ ප්‍රතිපත්ති සහ කරන කියන වැඩකටයුතු ජනතාව දැනුවත් කරමින් ඉදිරියට යාම. පාර්ලිමේන්තුව තුළ මේ දෙපක්‍ෂයේම කරුණු කාරණා නිසිලෙස ප්‍රබලව නියෝජනය කරමින් ජනතාව වෙත ගෙන යන්නේ පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදීන්. අද අපේ රටේ ජනතාව අංක එකට අවධානය යොමුකරන්නේ ක්‍රිකට්‌ වලට. රටේ සංවර්ධනය සහ අනාගතය පිළිබඳ සිත යොමු කරන්නේ අංක දෙකට.. ඇමරිකානු ආධාර වැඩසටහනේ නියෝජිතවරිය අද ප්‍රකාශ කළේ එයයි. අද රූපවාහිනී නාළිකාවලින් පාර්ලිමේන්තුවේ හරවත් ගුණවත් කතාවලට ප්‍රමාණවත් කාලයක්‌ වෙන් කරනවාද කියා ප්‍රශ්නයක්‌ තියෙනවා. මුද්‍රිත මාධ්‍ය ඉතා සතුටුදායක ලෙස පාර්ලිමේන්තුව වෙනුවෙන් දිනපතා පිටු වෙන්කරනවා. ගුවන් විදුලියත් තරමක්‌දුරට සතුටුදායකයි. අද අලුත් මන්ත්‍රීවරු පැය ගණන් පුස්‌තකාලයට ගිහින් කරුණු අධ්‍යයනය කරලා ඇවිත් පාර්ලිමේන්තුවේ කතා කරනවා. ඒත් ඒවාට වැඩි තැනක්‌ මාධ්‍යවලින් ලැබෙන්නේ නෑ. අනාගතයේදී පාර්ලිමේන්තු මාධ්‍යකරුවන්ගේ භූමිකාව පුළුල්වෙනවා.

සමහර වෙලාවට පාර්ලිමේන්තුවේ ඉතා සුළු කරුණක්‌ ගැන, පක්‍ෂවල මතවාද ඉදිරිපත් කිරීම සඳහා විශාල කාලයක්‌ වැය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මන්ත්‍රීවරුන්ට ඒ කාලය දෙන්න වෙනවා. ඒත් අපි ආපසු හැරී බැලුවොත් ඒ නාස්‌ති කළ කාලය සඳහා අහිංසක ජනතාවගේ බදු මුදලින් අපි කොතරම් මුදලක්‌ වැයකර තිබෙනවාද?

එනිසා කාලය නාස්‌තිවන කතා අමු අමුවේ විවේචනය කරමින් ගැඹුරු හරවත් අදහස්‌ වලට මූලිකත්වය දිය යුතුයි.

දේශපාලකයා ගන්නා තීන්දු තීරණ අභියෝග කිරීමට නම් සමාජය සමඟ සංවාදශීලීවීම වැදගත් වෙනවා.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා

පාර්ලිමේන්තුව තුළ කරන කියන හැමදෙයක්‌ම ජනතාවට දැන ගැනීම සඳහාත්, ජනතාවට ඒ කටයුතුවලට සම්බන්ධ වීමේ හැකියාවත් ඇතිකළ යුතුයි. වර්තමානයේ අපේ පාර්ලිමේන්තුව අලුත් වෙනස්‌වීම් රැසකට භාජනය වෙමින් තිබෙනවා. මෙහිදී මාධ්‍යවේදීන්ට සුවිශේෂී කාර්ය භාරයක්‌ පැවරෙනවා. තාක්‍ෂණය භාවිත කරමින් මාධ්‍යවේදීන්ට ඒ කටයුතු වඩාත් පහසුවෙන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමේ කටයුත්ත සිදුවෙමින් තිබෙනවා. ස්‌ථාවර නියෝග සංශෝධනය කරමින් ඊට අවශ්‍ය නෛතික රාමුව අපි සකස්‌ කරමින් ඉන්නවා. ස්‌ථාවර නියෝග නිසා පාර්ලිමේන්තුවේ බොහෝ කරුණු කාරණා ජනතාව වෙත ගෙන යාමේ බාධාවක්‌ මාධ්‍යවේදීන්ට තිබෙනවා. ඉදිරියේදී මේ තත්ත්වය වෙනස්‌ කරමින් මහජනතාවටත් මාධ්‍යටත් කාරක සභාවලට සම්බන්ධවීමේ පහසුකම් ඇති කරනවා.

ඇමෙරිකානු ආධාර වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා එලිනා ටැන්සේ මහත්මිය

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කරන්න පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදීන් දැඩි උත්සාහයක නියෑළෙනවා. ඔවුන් විශාල කාර්යභාරයක්‌ සිදුකරනවා. පාර්ලිමේන්තුවේ කාරක සභා මාධ්‍යට විවෘත කිරීමට ගෙන ඇති තීරණය ඉතා හොඳයි. මම ආවේ වොෂින්ටන් ඉඳලා. පාර්ලිමේන්තුව සහ මාධ්‍යකරණය මගේ හදවතට සමීප විෂයක්‌. අපිට අපේ රටේ පාර්ලිමේන්තුව කටයුතු කරන ආකාරය ගැන කතා කරන්න. ප්‍රශ්න අහන්න අවස්‌ථාව ලැබී තිබෙනවා. ඒක ඒ රටේ හොඳ ප්‍රවණතාවක්‌. ලංකාවේ ජනතාව ක්‍රිකට්‌ තරග නරඹන්න හරිම කැමැතියි. ඒත් අපි අපේ රටේ රූපවාහිනියෙන් නිතරම බලන්නේ පාර්ලිමේන්තුවේ වාද විවාද. ඒවා බලලා අපි ඒ ගැන සාකච්ඡා කරනවා. ඒ තරම් උනන්දුවක්‌ අපේ රටේ අයට අපේ පාර්ලිමේන්තුව ගැන තියෙනවා. පාර්ලිමේන්තුවේ කරන වාද විවාද දෙස ජනතාව සංවේදීව බලා ඉන්නවා. ඒ වාද විවාදවල තොරතුරු ජනතාව වෙත ගෙනයාම මාධ්‍යවේදීන් අතින් සිදුවන වැදගත් කාර්ය භාරයක්‌. එහිදී මාධ්‍යවේදීන් ඉතා සැලකිලිමත්විය යුතුයි. එනිසා මේ පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගේ කුසලතා, ශක්‍යතා උපරිම මට්‌ටමට ගෙන ඒමට අපි උත්සාහ කරනවා. වචනය ප්‍රබල අවියක්‌. ඉන් බොහෝ දේ කළ හැකියි. හැන්සාඩ් වාර්තාවෙන් සිදුවන කාර්යභාරයට වඩා වැඩි දෙයක්‌ මාධ්‍යවේදීන්ට කළ හැකියි. රජයක්‌ කටයුතු කරන්නේ කෙසේද යන්න ජනතාවට පෙන්වන කවුළුව තමයි මාධ්‍යවේදියා.

ඇමරිකානු ආධාර වැඩසටහනේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක තුසිතා පිලපිටිය මහත්මිය, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්‌ඩල ප්‍රධානී නීල් ඉද්දවල, සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක යන මහත්වරු, සහකාර මහලේකම් කුෂානී රෝහණධීර මහත්මිය, ව්‍යවස්‌ථාදායක සේවා අධ්‍යක්‍ෂ ජගත් ගජවීරආරච්චි මහතා, සහකාර අධ්‍යක්‍ෂ (පරිපාලන) පනත් කෙටුම්පත් ජී. තට්‌වභාරාණී මෙනෙවිය, තොරතුරු පද්ධති හා කළමනාකරණ අධ්‍යක්‍ෂ මහේෂ් පෙරේරා, නියෝජ්‍ය සම්බන්ධීකරණ ඉංජිනේරු ඩී. එල්. ඩී. අධිකාරි, නියෝජ්‍ය වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු, ගුවන් විදුලි සංස්‌ථාවේ හිටපු සභාපති, රූපවාහිනී සංස්‌ථාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්, ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා යන මහත්වරුද වැඩමුළුවේදී දේශන පැවැත්වූහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.