දැත් පිරිසිදු නිසා පන්සල්වල පිංකැට
සුද්ධ කරන්න මට ඕනෑ නැහැ...

ඇමැති ධුරයට වඩා මගේ අරමුණ මහවැලි චෛත්‍යය
ආසියාවේ හොඳම පුණ්‍ය භූමිය කිරීමයි

ඇමැති නවීන් දිසානායක

ගම්පොල - සුරංග දිල්හාන්


ඇමැති ධුරයට වඩා මහවැලි චෛත්‍ය ආසියාවේ හොඳම පුණ්‍ය භූමිය බවට පත්කර ගැනීම තමාගේ එකම අරමුණ බවත්, තමාගේ දැත් පිරිසිදු නිසා චෛත්‍යයේ හෝ පන්සල්වල පිංකැට සුද්ධ කර ගැනීමට තරම් තත්ත්වයට වැටී නොමැති බවත් වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක ඇමැතිවරයා පැවැසීය.

මහවැලි සංස්‌කෘතික පදනම් භාරයේ පනත කොත්මලේ වැඩ වාසය කරන මහා සංඝරත්නය වෙත පිළිගැන්වීම හා කුඩා වැවිලි ගම්මාන පුනර්ජීවන වැඩසටහන යටතේ කුඩා තේ වතු ගොවීන් හට ප්‍රතිලාභ බෙදා දීම වෙනුවෙන් පැවැති උත්සවයේදී ඇමැතිවරයා මේ බව පැවැසීය.

කොත්මලේ තවලන්තැන්න තොන්ඩමාන් සංස්‌කෘතික සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති මෙම උත්සවය කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති විඡේරත්න දේවගෙදර මහතාගේ මූලිකත්වයෙන් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සංවිධානය කොට තිබුණි.

මෙම උත්සවයේදී ජල ටැංකි 300 ක්‌, වතුර මෝටර් 100 ක්‌ හා බෙහෙත් ටැංකි 120 ක්‌ ලබාදීම සිදුකෙරිණි.

මෙම ස්‌ථානයට වැඩම කරන ලද මහා සංඝරත්නය වෙත කොත්මලේ චෛත්‍ය සම්බන්ධ මතුව ඇති අර්බුදය පැහැදිලි කරදීම් සිදු කළ ඇමැතිවරයා එහි පනතද මහා සංඝරත්නය වෙත පිළිගන්වනු ලැබීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැතිවරයා-

වෙහෙර විහාර හා පිං පෙට්‌ටි සම්බන්ධයෙන් රට තුළ මතුව ඇති සංවාදය සමග කොත්මලේ චෛත්‍යයේ භාර කාරත්වය පිළිබඳව අනවශ්‍ය අර්බුදයක්‌ මතු කරලා තියෙනවා.

මේ චෛත්‍ය පාලනය වන්නේ 2009 වසරේදී පාර්ලිමේන්තුවේ සම්මත වූ පනතේ නීති ප්‍රකාරවයි. ඒ අනුව මෙහි අර්බුදයක්‌ නෑ.

හිටපු මහවැලි ඇමැති ගාමිණී දිසානායක මහතා කොත්මලේ චෛත්‍ය ගොඩනැංවීමට මුල් වුණේ කොත්මලේ ජලාශයට යටවූ වෙහෙර විහාර 16 ක්‌ සිහිවීම මුල්කර ගෙනයි. එම පන්සල් 16 ටම මෙම චෛත්‍ය අයිතියි. එක්‌ පාර්ශ්වයකට හෝ විහාරයකට අයිති වෙන්න දීම අසාධාරණයි. මේ චෛත්‍ය කොත්මලේ උරුමයයි. ඒක නැතිකර ගන්න කවුරු හෝ උත්සහ කරනවානම් එය සදාචාර නෑ.

ඒ අනුව කොත්මලේ චෛත්‍ය එක්‌ නිකායකට හෝ පාර්ශ්වයකට අයිති නෑ. එය සියලුම පාර්ශ්වයන්ට හා නිකායන්ට අයිතියි.

මගේ අප්පච්චි ගාමිණී දිසානායක මේ චෛත්‍ය අරඹලා කීවේ "පුතේ මට අවශ්‍ය මේක තක්‍ෂිලාවක්‌ කරන්න" කියලයි. තක්‍ෂිලාව කියන්නේ ඉන්දියාවේ බෞද්ධ විශ්වවිද්‍යාල නගරයක්‌.

මේ චෛත්‍ය ගොඩනඟලා අවසන් කරන්න බැරිව අවුරුදු 25 ක්‌ තිබුණා. මම 2010 මේ භාරකාර මණ්‌ඩලයේ සභාපති වුණාට පස්‌සේ අවුරුදු 6 ක්‌ තුළ මෙහි වැඩ අවසන් කළා.

වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත් මේ සඳහා උදව් කළා. මගේ මවට දෙන්න හිටිය තානාපති ධුරයට වඩා මම රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලුවේ මේ චෛත්‍යයේ වැඩකටයුතු අවසන් කරන්න උදව් කරන්න කියලයි. පුද්ගලික දානපතියන් විශාල පිරිසක්‌ මාව විශ්වාස කරලා උදව් කළා.

මෙහෙම කරන්නේ මටත් අවශ්‍ය මේ චෛත්‍ය නිසා කොත්මලේට අභිමානයක්‌ දියුණුවක්‌ ගේන්නයි.

එහෙම නැතිව අපට පන්සල් වලින් පිං පෙට්‌ටිවලින් සල්ලි අවශ්‍ය නෑ. මේ අත්දෙක පවිත්‍රයි. මම සමහර වේලාවට දුප්පත් වුණත් මගේ භාර්යාව හරිම පොහොසත්. කරු ජයසූරිය මහතාගේ දුව. මට නිකන් ඉඳලා හොඳට ජීවත් වෙන්න පුළුවන්. මට පිං පෙට්‌ටි අරගෙන ජීවත් වෙන්න අවශ්‍ය නෑ. ඒක විහිළුවක්‌.

එදා කළුතර බෝධිය සෑදූ සොයිසා පවුලේ අයෙක්‌ තමයි එහි අරමුදලේ සභාපති වෙලා ඉන්නේ. අදටත් සොයිසා පවුලේ පුතා තමයි ඒ සඳහා ඉන්නේ.

ඉතිං අපි වැඩ කරනවා. අපි හදනවා. අපි පාරිශුද්ධ භාවයෙන් වැඩ කරනවා. අන්තිමට අපිට කියනවා අපි හොරු කියලා. මොකක්‌ද මේකේ සාධාරණය.

ඒ නිසා බෞද්ධයන් වන තමුන්නාන්සේලා තීරණය කරන්න ඕනෑ මොනවාද වෙන්න අවශ්‍ය කියලා.

තනතුරු එනවා යනවා. මේවා තාවකාලිකයි. දේපළ එනවා යනවා. ඒව තාවකාලිකයි. එම නිසා සියලු දේම බෙදාගෙන සාධාරණය ඉටු කරමින් සතුටින් ජිවත් වෙන්නයි මට අවශ්‍යය.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති විඡේරත්න දේවගෙදර මහතාද මෙහිදී අදහස්‌ දැක්‌වීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.