අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලන ඇතැම් වාර්තා ලබාදීම අතපසු කළේ ජනතා ආරක්‌ෂාවට තර්ජනයක්‌ වේවි යන සැකය නිසයි...
බ්‍රිගේඩියර් ඊ. එස්‌. ජයසිංහ කියයි

ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන්වීමේ නඩුව

හෝමාගම - ජයසිරි කාරියවසම්

අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් යුද හමුදාවෙන් ඉල්ලා සිටින සමහර තොරතුරු ජාතික ආරක්‌ෂාවට තර්ජනයක්‌ වේවි යන සැකයෙන් යුද හමුදාව විසින් ඇතැම් වාර්තා ලබාදීම අතපසු කොට තිබෙනවා හැර කිසිසේත් යුද හමුදාව තොරතුරු වසන් නොකරන බව අතුරුදන් වූ ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා සම්බන්ධව හෝමාගම අතිරේක මහෙස්‌ත්‍රාත් ප්‍රමෝද් ජයසේකර මහතා හමුවේ විභාග වන නඩුවේ යුද හමුදාවේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි බ්‍රිගේඩියර් ඊ. එස්‌. ජයසිංහ මහතා පැවැසීය.

එම නඩුව ජුලි 11 වැනිදා හෝමාගම දිසා අධිකරණයේදී විභාග වුණ අතර අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පැමිණි ශානි අබේවික්‍රම මහතා ප්‍රගීත් එක්‌නැලිගොඩ අතුරුදන් වූ කාලය තුළ සිද්ධියට සම්බන්ධ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පාවිච්චියට ගත් දුරකථන දෙක හා එම කාලවකවානු හා ප්‍රදේශ පිළිබඳව යුද හමුදාවෙන් ඉල්ලූ වාර්තා ප්‍රමාද කිරීම නඩුවට ගැටලුවක්‌ වී ඇතැයිද අදාළ සිද්ධියට සම්බන්ධ දැනට විශ්‍රාම ගොස්‌ සිටින යුද හමුදා නිලධාරීන් කැඳවා සාක්‌ෂි විමර්ශන වාර්තා ප්‍රමාද වීම තවත් ගැටලුවක්‌ වී ඇති බවත් පැවැසීය.

යුද හමුදාව වෙනුවෙන් පෙනී සිටි බ්‍රිගේඩියර් ඊ. එස්‌. ජයසිංහ මහතා පැවසුවේ විශ්‍රාම ගිය යුද හමුදා නිලධාරීන් කැඳවීමට අපිට බලපෑම් කරන්න බෑ. සේවයේ සිටින නිලධාරීන් කැඳවීමට අපිට බලයක්‌ තියෙනවා. අපි ලිපි යෑවූ විට එන අයගෙන් අපට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න පුළුවන්. ඒත් ජාතික ආරක්‌ෂාවට ගැටලුවක්‌ වේ යෑයි සිතෙන තොරතුරු ලබාදීම අතපසු කොට තිබෙනවා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින් ලද්දුවහෙට්‌ටි මහතා - ස්‌වාමීනි මේ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ නඩුවට අදාළ නොවන වාර්තාත් ඉල්ලනවා. සිද්ධියට පෙර ඉතිහාස වාර්තා මෙම සැකකරුවන් රිමාඩ්න්භාරයේ සිටියදී හා පසු වාර්තා අවශ්‍ය වාර්තා ලබාදී තිබියදී තව තවත් වාර්තා ඉල්ලා සිටීම ප්‍රශ්නයක්‌ මේ අධිකරණයේ අවධානයට මෙය යොමු කරනවා.

නඩුව අගෝස්‌තු මස 8 වැනිදාට යළි කැඳවීමට හෝමාගම අතිරේක මහෙස්‌ත්‍රාත් ප්‍රමෝද් ජයසේකර මහතා නියෝග කළේය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.