හිටපු පොලිස්‌ ලොක්‌කෙකු අතින් අතවරයට පත්
තරුණියගෙන් වසර 11 කට පසු පැමිණිල්ලක්‌

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නිල නිවසේදී 2006 වසරේ දෙසැම්බර් මාසයේදී එවකට වයස අවුරුදු පහළොවක්‌ වූ බාලවයස්‌කාර දැරියකට අතවර කරනු ලැබූ බව කියන උසස්‌ පොලිස්‌ නිලධාරියකු සම්බන්ධයෙන් වින්දිත කාන්තාව විසින් සිද්ධියෙන් වසර 11 කට පසුව ගාල්ල පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශය වෙත ඉකුත් 15 දා පැමිණිලි කරනු ලැබ තිබේ.

මීට වසර එකොළහකට පෙර වයස අවුරුදු පහළොවක්‌ වූ මෙම තරුණිය පොලිස්‌ අධිකාරිවරයාගේ නිල නිවසට පැමිණ ඇත්තේ සිය පියා සමඟ කිසියම් ශාන්තිකර්ම කටයුත්තක්‌ සඳහා බව පැවසේ.

කෙසේ වෙතත් ඒ වන විට වින්දිත දැරිය වයස අවුරුදු 15 යි මාස හතක වයසේ පසු වී ඇති අතර වසර එකොළහකට පසුව ඇය විසින් තමා ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කාර්යාලයේදී අතවරයට ලක්‌ කළ බවට පැමිණිලි කර තිබේ.

සිද්ධියෙන් පසුව මෙම තරුණියට උසස්‌ පොලිස්‌ නිලධාරියා විසින් රුපියල් ලක්‍ෂ දහඅටක්‌ පමණ වටිනා නිවසක්‌ ද ලබා දී ඇතැයි පැවසේ. මෙම උසස්‌ පොලිස්‌ නිලධාරියා දැනට සේවයෙන් විශ්‍රාම ලබා සිටින අයකු වන බව ද පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

ගෝනාපීනුවල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව දැනට විසිහය හැවිරිදි වියේ පසුවන අතර ඇය ඉකුත් 15 දා ගාල්ල පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිස්‌ හා ළමා කාන්තා කාර්යාංශය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.