සිත දවන කතාවක්‌
දරුවාට බෙහෙත් ගන්න යන්න
තාත්තා මන්නයත් උගස්‌ කරලා


අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

නියඟය නිසා පිට පිට කන්න හතරක්‌ නිsසි වගාවක්‌ කර ගැනීමට නොහැකිව කුසට අහරක්‌ හෝ නොමැතිව අන්ත අසරණ තත්ත්වයට පත්වූ ගොවි මහතකු තම දරුවාගේ අසනීප තත්ත්වයට ප්‍රතිකාර ලබා ගැනීමට රෝහලට යැමට ගමන් වියදම් සඳහා තම නිවසේ තිබූ රුපියල් අට සීයයක්‌ පමණ වටිනා මන්නා පිහියක්‌ රුපියල් තුන්සියයක මුදලකට ඇපයට තබා මුදල් ලබාගෙන ඇත. විලච්චිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් එම ප්‍රදේශයේම ගොවි මහතකු මෙසේ රුපියල් තුන්සියයක මුදලක්‌ ඉල්ලා ගෙන තිබේ.

අවස්‌ථා කිහිපයකදී තම අඹු දරුවන්ගේ කුස ගිනි නිවීමට සහල් ඇතුළු බඩු බාහිරාදිය රැසක්‌ මොහු මෙම වෙළෙඳසලෙන් ණයට ගෙන ඇත.

එම ණය මුදල් පවා ගෙවා ගත නොහැකි තත්ත්වයක සිටින තමාට දරුවාගේ අසනීප තත්ත්වය දෙස බලා සිටිය නොහැකි බවත් තමාට ඇපයට තැබීමට තිබෙන එකම වස්‌තුව මන්නා පිහිය පමණක්‌ බවත් පවසා ඇති එම ගොවි මහතා තම දරුවාගේ අසනීපයට ප්‍රතිකාර ලබාගැනීමට යැමට මන්නා පිහිය ඇපයට තබාගෙන රුපියල් තුන්සියයක මුදලක්‌ ලබා දෙන ලෙසට වෙළෙඳ සලේ හිමිකරුවන සරත් ප්‍රියන්ත මහතාගෙන් බැගෑපත්ව ඉල්ලීමක්‌ කොට ඇත.

තම හද සසල කරවූ එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ව්‍යාපාරිකයා ඔහුට පසුව අදාළ මුදල ලබා දී මන්න පිහිය නැවත රැගෙන යන ලෙස පවසා ඇත.

කෙසේ වුවද තම ඉල්ලීම කෙරෙහි ව්‍යාපාරිකයා දැක්‌වූ අනුකම්පා ගත සහයෝගය අගයමින් එම මුදල් ආපසු ලබා දෙන තෙක්‌ තමන් රැගෙන ආ පිහිය ව්‍යාපාරිකයා සන්තකයේ තබා ගන්නා ලෙසට පවසමින් එය බලෙන් මෙන් වෙළෙඳ සලේ තබා එම ගොවි මහතා මුදලත් රැගෙන පිටව ගොස්‌ ඇත.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.