හේරත්ගේ කරකැවිල්ලට
රාසා හරස්‌ වෙද්දී
සිම්බාබ්වේ මුවහත් වෙයි


අසේල විතාන

එක පිට එක කඩුලු දවා ගනිමින් පෙරළියක්‌ කරන්නට සැරසුණු රංගන හේරත්ගේ කඩුලු මැෂිමට විවේකයක්‌ ලබාදුන් ෂිකන්දර් රාසා ලබාගත් අර්ධ ශතකයෙන් යළිත් මුවහත් වූ සිම්බාබ්වේ පිල තරගයේ තෙවැනි දිනට (16 දා) නවතා දමන විට කඩුලු 6 ක්‌ දැවී ලකුණු 252 ක්‌ ලබා සිටියේය. ඔවුන් පළමු ඉනිමේදී ලබාගත් ලකුණු දහයක වාසියත් සමග මේ වන විට ලකුණු 262 ක්‌ ඉදිරියෙන් පසුවේ.

සිම්බාබ්වේ දෙවැනි ඉනිමේ නව වැනි පන්දුවාරය අවසන් වීමටත් පෙර ඔවුන්ගේ පළමු පිතිකරුවන් සිව්දෙනා ලකුණු 23 ක්‌ තුළ රාජකාරිය අවසන් කළ ද ෂිකන්දර් රාසා සහ ක්‍රෙග් අර්වින් පස්‌වැනි කඩුල්ලට ලකුණු 35 ක සබඳතාවකින් තරමක සහනයක්‌ සිය කණ්‌ඩායමට ලබාදීමට සමත් විය. එම සබඳතාවටත් හරස්‌ වූ රංගන හේරත් සිම්බාබ්වේ පස්‌වැනි කඩුල්ල ගලවා දැමුවද සටන අත්නොහැරි ෂිකන්දර් රාසා පීටර් මුර් සමග හයවැනි කඩුල්ලට ලකුණු 86 ක සබඳතාවයෙන් සිම්බාබ්වේ පිල තවත් ඔසවා තැබූහ.

ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ඉලක්‌කය දිගු දුරකට විහිදුවමින් සිටින රාසා හත්වැනි කඩුල්ලට මැල්කලම් වෝලර් සමග පිහිටුවූ නොබිඳුණු ලකුණු 107 ක සබඳතාවයෙන්, දිවා ආහාරයට පෙර ප්‍රබෝධයට පත්ව සිටි චන්දිමාල්ගේ කණ්‌ඩායමට හවස්‌ යාමේ තරමක අසීරුතාවකට පත්ව සිටින අයුරුත් දිස්‌විය. හත්වැනි ටෙස්‌ට්‌ තරගයේදී පළමු වරට ශතක සැමරුමට ලකුණු තුනක්‌ මෙපිටින් සිටින රාසා පන්දු 158 කදී හයේ පහරක්‌ සහ හතරේ පහර හතකින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ව හෙම්බත් කර දැමුවේය. රසාගේ ඉනිමට ශක්‌තිමත් මුක්‌කුවක්‌ සපයන වෝලර් සිව්වැනි වරටත් ටෙස්‌ට්‌ අර්ධ ශතකයක්‌ ලබා ගනිමින් කඩුල්ලේ රැඳී සිටියි.

නව පන්දුවෙන්ම දඟ කැවීම ආරම්භ කළ රංගන හේරත් පන්දු 13 ක්‌ ඇතුළතදී සිම්බාබ්වේ පළමු පිතිකරුවන් තිදෙනාගේ කඩුලු විනාශ කර දැමුවේ ශ්‍රී ලංකාව තුළ තිබූ පීඩනය ලිහා දමමිනි. හේරත්ගේ විශ්මිත දඟ කැවීම හමුවේ අසරණව සිටි සිම්බාබ්වේ පිල තවත් අමාරුවක දැමූ ඩිල්රුවන් පෙරේරා පළමු ඉනිමේදී ඇන්කර් ඉනිමක්‌ ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව පීඩනයට ලක්‌ කළ ක්‍රෙග් අර්වින්ගේ ඉනිම නවතා දැමුවේය. අර්වින් දැවී යාමත් සමග ඊයේ දිවා භෝජනයට තරගය නතර කිරීමට විනිසුරුවන් තීරණය කරන විට සිම්බාබ්වේ පළමු පිතිකරුවන් සිව්දෙනාට පිළිවෙළින් ලබාගත හැකිවූයේ ලකුණු 7, 6, 0 සහ 5 වශයෙනි.

ශ්‍රී ලංකා පිතිකරුවන්ට දිගු ඉනිමක්‌ ක්‍රීඩා කිරීමේ වාසනාව අහිමිව යද්දී සිම්බාබ්වේ පිලට පළමු ඉනිමේදී ලකුණු 10 ක වාසියක්‌ හිමි විය. ඊට ප්‍රධානතම හේතුව වූයේ උපුල් තරංග ලකුණු 71 ක්‌ ලබා සිටියදී චන්දිමාල් ගැසූ පහර පන්දු යවන්නාගේ අතේ වැදී එම අන්තයේ කඩුල්ලේ වැදෙන විට තරංග ඉදිරියට පැමිණ සිටීමෙන් දුවද්දී දැවී යාමකට හසුවීමය. අනතුරුව ඩිල්රුවන් පෙරේරාද දුවද්දී දැවී යාමකට හසුවීමත් සමග ශ්‍රී ලංකාවේ කඩුලු දෙකක්‌ම ටෙස්‌ට්‌ තරගයක අවාසනාවන්ත ගොදුරු බවට පත්විය.

කෙසේ වෙතත් කඩුලු 7ක්‌ ලකුණු 274 කට දැවී ගොස්‌ තිබියදී පීඩනයෙන් මිරිකී සිටි ශ්‍රී ලංකාවට රංගන හේරත් සහ අසේල ගුණරත්න එක්‌ව අටවැනි කඩුල්ලට දායාද කළ ලකුණු 48 ක සබඳතාවයෙන් මඳ සහනයක්‌ ලැබුණි. 1994 දී සිම්බාබ්වේ පිල ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 462 ක්‌ ලබා ගත් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 218 කට සීමා විය. එහිදී පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පරාජයෙන් ගලවා ගැනීමට හැකිවූයේ සංජීව රණතුංගගේ ශතකයේ පිහිට නිසාය. මෙම ටෙස්‌ට්‌ තරගයේදීද එවැනිම ෙ€දවාචකයකට නැඹුර වීමේ අවදානමක පසුවන ශ්‍රී ලංකාව කෙසේ හෝ පරාජයෙන් ගැලවීමේ මෙහෙයුමක නිරත විය යුතුමය.

තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නගේ පාදයේ ඇතිවූ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහු පිටියේ නොසිටීමෙන් ශ්‍රී ලංකා නායකයාට පන්දු යවන්නකුගේ අඩුව මෙම ඉනිමේදී හිසරදයක්‌ බවට පත්විය. එය වසා ගැනීමට කුසල් මෙන්ඩිස්‌ව කැඳවුවද ඔහුගේ පන්දු හමුවේ සිම්බාබ්වේ පිතිකරුවෝ පීඩනයකට හසුවන අයුරක්‌ දක්‌නට නොලැබුණි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.