උමා ඔය
(කතාව තව ඉවර නැත)

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය රටේ ජනතාව හඳුනාගෙන සිටින්නේ රට තුළ ආරම්භ කරන ලද තවත් එක්‌ සංවර්ධන ව්‍යාපෘතියක්‌ ලෙස පමණක්‌ම නොවේ. දැවැන්ත විනාශයක්‌ ද ගෙන ආ සංවර්ධන ව්‍යාපෘතියක්‌ ලෙසය. එම ව්‍යාපෘතිය ආරම්භ කරන විට මතුවූ ජනතා විරෝධය මේ වන විට දෙගුණ තෙගුණ වෙමින් තිබේ. 'සයිටම්' විරෝධී කැරැල්ල හැරුණු විට රටේ වැඩිම විරෝධතාවක්‌ පෙළගැසෙන්නේ උමා ඔයට විරුද්ධවයි. පසුගිය දිනවල කැෆේ සංවිධානය චෝදනා කර තිබුණේ උමා ඔය ව්‍යාපෘතියේ විනාශකාරී තත්ත්වය නිසා විහාර 20 ක්‌ ද, එක්‌ මුස්‌ලිම් පල්ලියක්‌ද ඇතුළුව ආගමික ස්‌ථාන 21 ක්‌ විනාශ වන තත්ත්වයට පත්ව ඇති බවය. එතරම්ම විනාශකාරී තත්ත්වයක්‌ ඇති වී ඇති නමුදු තවමත් උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වගකිව හැකි අවධානයක්‌ රජය පාර්ශ්වයෙන් යොදා නැති බව පෙනෙන්නට තිබේ. දැන් උමා ඔයට සිදුව තිබෙන්නේ මග හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී මට්‌ටමේ තත්ත්වයකි. උමගේ ඉතිරි කොටස නිමා නොකළහොත් බදුලු බණ්‌ඩාරවෙල වියළි කලාපයක්‌ වීම කිසිවකුටත් නතර කළ නොහැකි තත්ත්වයක්‌ බව විෂයය ප්‍රාමාණිකයන්ගේ මතයයි. වැඩේ අමාරුවෙන් හෝ අවසාන කළ ද සිදුවන විනාශය සුළු කොට තැකිය හැක්‌කක්‌ නොවේ. දැන් ප්‍රශ්නය තිබෙන්නේ මේ කොයි කාරණාවකදී වුව උමා ඔය ව්‍යාපෘතිය ආශ්‍රිතව ජීවත් වන ජනතාවට විඳින්නට වන පීඩාව සුළුපටු නැත. ඔවුනට බොන්නට දිය පොදක්‌ නැත. නිවෙස්‌ ඉරිතලා ගොසිනි. සමහර නිවෙස්‌වල පදිංචිවනවා තබා නිවසට අයත් ඉඩමේ හෝ සිටීම අනතුරුදායකය. සශ්‍රීක කෘෂිකාර්මික ජීවන පෙවෙතකට හුරුව සිටි පිරිසට දැන් එක බිම් අඟලක හෝ වගාවක්‌ කරන්නට බැරි තත්ත්වයක්‌ උදාවී තිබේ.

ජනාධිපතිවරයා මේ නිසාම උමා ඔය ව්‍යාපෘතියේ විනාශය ගැන සොයා බලන්නට කැබිනට්‌ අනුකමිටුවක්‌ පත් කළේය. ඒ උදවිය උමා ඔය ව්‍යාපෘතිය නිසා හානි වූ දේපළ සඳහා සැප්තැම්බර් 15 වැනි දිනට පෙර වන්දි ලබාදීමට තීරණය කර තිබේ. හැම දෙයටම කල් යල් බලන වගකිව යුත්තන් සිටින රටක මෙතරම් ඉක්‌මණින් ඒ තීරණය ගැනීම ගැන සතුටුවිය යුතුය. ප්‍රශ්නය වන්නේ වන්දි දුන් පමණින් සියලු ප්‍රශ්න නිවැරැදි වේද යන්නය. ව්‍යාපෘතිය අවසන් වූ පසුව හිඳුණු ජල මූලාශ්‍ර නැවත තිබුණු මට්‌ටමට පැමිණේවි යෑයි විෂයය දැනුමැත්තන් කරන ප්‍රකාශ ද අප බැහැර නොකරමු. එහෙත් අපට අනාගතය ගැන නියමිත තීන්දු තීරණවලට එළැඹිය නොහැක. ඒ නිසාම හානි වූ දේපළවලට ගෙවන වන්දිය සේම, ඉදිරියේදී මතුවිය හැකි පාරිසරික ගැටලුවලට ද විසඳුම් සෙවිය යුතුය. මේ වන විට බොහෝ දේශපාලනඥයන්ගේ කටගැස්‌ම වී ඇත්තේ උමා ඔයයි.

සමහර දේශපාලනඥයන් කියන්නේ උමා ඔය ව්‍යාපෘතිය වහාම නතර කළ යුතු බවය. අති විශාල වියදමක්‌ දරා සියයට අසූවක පමණ වැඩ ප්‍රමාණයක්‌ අහවර කර ඇති ව්‍යාපෘතියක්‌ අතරමග නවතා දැමිය හැක්‌කක්‌ නොවේ. එමෙන්ම නගර මැදින් දිවෙන කිලෝමීටර් ගණනක කුහරයක්‌ ඉතිරි කර ව්‍යාපෘතියක්‌ අතරමග නතර කිරීම ද ප්‍රායෝගික නැත. දැන් කළ යුත්තේ ව්‍යාපෘතිය විධිමත්ව අවසන් කර එය ඵලදායී ලෙස රටේ සංවර්ධනයට යොදා ගන්නා අතරම ඒ ඒ ප්‍රදේශවල පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීමය. එය වන්දි ගෙවීමට පමණක්‌ සීමා විය යුතු එකක්‌ නොවන බව අවධාරණය කළ යුතුය. එමෙන්ම කවරාකාරයක හෝ සංවර්ධන ක්‍රියාදාමයක්‌ හිටි හැටියේ නතර කර දැමීමෙන් සිදුවන්නේ රටට අවාසියක්‌ මිස වාසියක්‌ නොවන බවද කිව යුතුය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.